Thursday, October 24, 2013

රන් තාරකා හැඬුවා මේ රාත්‍රියේ

සිරස සුපර් ස්ටාර් - 05 හිදී ඔබ හමු වූ නාසියාගෙන් අලුත් ගීතයක්


රන් තාරකා හැඬුවා මේ රාත්‍රියේ
පායා සිනා නොනඟා ආකාශයේ
පෙර ආත්මයේ ගෙන ආ අපේ
මල් සිහින ඡායා සේදී ගියේ
දෙසිතකින් නොවේ පිදුවේ
මං ආදරේ . . .
මං නිසාම ආදරේ - වෙන් කලා කියා සිතේ
මේ කුනාටු මාවතේ – මං මුලා කළේ කෙසේ
ඔබට කී ලෙසේ ඔබේ දිව්‍යාංගනා
සසල වී ඉඳී ලොවක කල්පනා
දෙසිතකින් නොවේ පිදුවේ
මං ආදරේ . . .
හා පුරාම ප්‍රේමයේ - මල් නෙලා නෙලා දිදිී
ජීවිතේම ඒ වගේ – ඉන්නවා කියා අපී
සෑදූ මන්දිරේ කළේ මන්ද දූවිලි
චණ්ඩ මාරුතේ මල් පහන් නිවා
දෙසිතකින් නොවේ පිදුවේ
මං ආදරේ . . .
මේ ගීතය ඔබට ගයන්නේ නාසියා නයීම්ය. ඇගේ මියුරු ස්වරය සිරස සුපර් ස්ටාර් – 5 නැරැඹූ පේ‍්‍රක්ෂකයන්ට නම් අමුත්තක් නොවේ. සිරස සුපර් ස්ටාර් – 5 තරගයේ අන්තිම දොළොස් දෙනා අතරට ආ නාසියා කාගෙත් සිත් දිනාගත් තාරකාවකි.

* නාසියා කවුද මේ ‘රන් තාරකා’ කියලා කියන්නේ?

ඒක තමයි මගේ අලුත්ම ගීතය. ළඟදීම මට ආදරය කරන ප්‍රේක්ෂකයන්ට ඒ ගීතය අසන්නට ලැබේවි. මේ මගේ පළමු ගීතය මුලින්ම විකාශය වෙන්නෙත් සිරස නාලිකාවේයි. සමන් චන්ද්‍රනාත් වීරසිංහගේ ගී පදවලට සංගීතය සැපයුවේ සරත් ද අල්විස් කියන ප්‍රවීණ සංගීතඥයා.

* ‘රන් තාරකා හැඬුවා’ ඔබගේ අත්දැකීමක් ද?

මගේ අත්දැකිමක් නම් නොවෙයි. මේ දවස්වල යන ගීතවලට හරි යන්නයි ඒ ගීතය නිර්මාණය වුණේ. නමුත් මේ කාලයේ නිතරම අසන්නට ලැබෙන ගීතවලින් තරමක් වෙනස් විදියකට ලියැවුණු, සංගීතය නිර්මාණය වුණු හා ගැයුනු ගීතයක් තමයි ‘රන් තාරකා හැඬුවා’ කියන්නේ. 

ඒ වෙනස්කමට උචිත අයුරින් වඩාත් හොඳින් ගීතයක් ගයන්න පසුබිම නිර්මාණය කර දුන්නේ සරත් ද අල්විස් සංගීතඥයා. ඔහු මට උවමනා කුමක්දැයි හොඳින් දැනගෙන සිටියා. ඒ නිසා මා විශ්වාස කරන්නේ මේ ගීතය මට ආදරය කරන ප්‍රේක්ෂකයෝ ආදරයෙන් වැළඳ ගනීවි කියලයි.

* ප්‍රේක්ෂකයන් ගැන ඔය තරම්ම ඔබට විශ්වාසයක් තිබෙනවාද?

සිරස සුපර් ස්ටාර් – 5 තරගයේ තරගකරුවෙක් විදියට තරග වදින අවස්ථාවේදී මුල ඉඳලාම වගේ ප්‍රේක්ෂකයෝ මා සමඟ සිටියා. ඔවුන්ගෙන් ලැබුණු ධෛර්මත් කිරීම් මට රටක් රාජ්‍යයක් ලැබුණා වගෙයි. අන්තිම දොළොස් දෙනා අතරට මට එන්නට හැකියාව ලැබුණේ ඔවුන්ගේ ඒ මඟ පෙන්වීම නිසා බවත් කියන්නම ඕනෑ.

 තරගයෙන් ඉවත් වුණත් මම මොනවද කරන අලුත් වැඩ කටයුතු කියමින් නිතරම ලිපි එවූ, දුරකතන ඇමතුම් වගේම එස්. එම්. එස්. එවූ ඒ සියලු දෙනාටම මා ස්තූතිය පළ කරනවා.

* කොහොමද ඔබ දන්නේ ඔබ වඩාත් දක්ෂ ගීත ගයන්න කියලා?

මගේ මතකයේ විදියට ගීතයක් ගයන්න මා මුලින්ම වේදිකාවට නැග්ගේ මට අවුරුදු හතේදී. ඒ අපේ ගෙදර ළඟම තිබුණු මඟුල් ගෙදරකදියි. අම්මලාට හොරෙන් ගීතය කියන්න ගියත්, ගීතය ගයලා ඉවර වුණාට පස්සේ මා ගීතය ගැයූ බව හැමෝම දැන ගත්තා. 

එදා මම කිව්වේ හින්දි ගීතයක්. පුංචි කාලයේ ඉඳලා හින්දි ගීතවලට මම බොහොම කැමැතියි. මට හින්දි ගීත ගයන්න විතරක් නෙමෙයි ලිියන්නත් හැකියාවක් තිබෙනවා.

* ඒ අවස්ථාවෙන් ඔබ ප්‍රයෝජනයක් අරගෙන තිබෙනවාද?

මා ලියූ හින්දි ගීතයකට තනුවක් දමලා ගයලා තිබෙනවා. ඒත් දැන්ම ඒ ගීතය ප්‍රේක්ෂකයන් අතරට අරගෙන යන්න මා අදහස් කරන්නේ නැහැ. ඒකට තව කාලය තිබෙනවා.

* සිරස සුපර ස්ටාර් – 5 තරගයට පෙර ඔබ සිටියේ විදේශ ගත වෙලා නේද?

මා විදේ්ශ ගතවෙන්නේ අවුරුදු හතේදී විතර වයසේදී. ඒ අධ්‍යාපන කටයුතු සඳහායි. ඒත් වරින් වර ලංකාවට ඇවිත් යන්න මා අමතක කළේ නැහැ. ඒ අතරදි තමයි මට සිරස සුපර් ස්ටාර් තරගය නරඹන්නට ලැබෙන්නේ. 

කවදා හරි මම ඒ තරගයට ඇතුළ් වන බව සිතුවේ ඒ තරගය නැරැඹූ දිනයේදියි. අධ්‍යාපන කටයුතුවලින් පස්සේ ලංකාවට ආව මා 2012 සිරස සුපර් ස්ටාර් තරගයට ඉල්ලුම් කළා.

* ඔබ සංගීතය පිළිබඳ හැදෑරීමක් කළාද?

මම සංගීතය ඉගෙන ගත්තේ මර්වින් ප්‍රියන්ත සර්ගෙන්. බටහිර සංගීතය වගේම දේශීය සංගීතයත් හැදෑරුවා. ගායනයේදී මේ හැදෑරීම් බොහොම වැදගත්.

* ඔබ ඒ තරගයේදී ගායනා කරන්න නිතරම තෝර ගත්තේ පැරැණි චිත්‍රපටවල ගීතයි. ඒකට විශේෂ හේතුවක් තිබෙනවාද?

ඒ ගීතවලට මම කැමැතියි. ඒ වගේම ඒ ගී තවමත් මිනිස්සුන්ගේ හදවත්වල ජීවත් වෙනවා. විශේෂයෙන්ම ඇන්ජලින් ගුණතිලක කියන අපේ ප්‍රවීණ ගීත කෝකිලාවියගේ ගීතවලටයි මා වඩාත් ප්‍රිය කරන්නේ.

* ඉදිරි කටයුතු පෙළ ගැසෙන්නේ කොහොමද?

මෙ වන විට මම ‘කඳුලේ නිසා’ කියන ගීතයත් එළි දැක්වීමට සූදානමින් සිටිනවා. එහි සංගීතය කලේ සංඛ දිනෙත්. ගී පද දිලාන්. විෂුවල් වැඩ කටයුතුයි මේ දවස්වල කෙරෙන්නේ. 

ඒ වගේම සිංහල ලංකා ඩොට් කොම් කියන වෙබ් සයිට් එකේ පැතුම් එරන්ද සමඟ ගීතයක් සඳහා මම යුග ගායනයෙන් එක්වෙනවා.

පවුලේ හැමෝටමත්, කතරගම මගේ යහළුවන්වත් ඇතුළු නම් කීී නොකී සියලු දෙනාටමත් මම ස්තුති කිරීමට මෙය අවස්ථාවක් කර ගන්නවා.

- තිලානි ශානිකා විතානාච්චි
සේයාරුව - මාලන් කරුණාරත්න
සරසවිය

අපි ගමට යන්න තීරණය කළා

දීපානි සිල්වාගේ අලුත්ම වැඩපිළිවෙළ ගැන සංවාදයක්

වීදි නාට්‍ය කලාවේ පියා ලෙස විරුදාවලිය ලත් ගාමිණී හත්තොටුවේගම නාට්‍යවේදියා ගේ ප්‍රමුඛත්වයෙන් විවෘත වීදි නාට්‍ය කණ්ඩායමේ ප්‍රථම රඟ දැක්වීම ඇරඹියේ අනුරාධපුර දුම්රිය පොළ වේදිකාවෙනි. 

එහි සිටින පැරණිම රංගන ශිල්පිනියක වන දීපානි සිල්වා අනාගත පරපුරට වීදි නාට්‍ය කලාව හිමි කිරීමේ අදහස ඇතිව හා තම ගුරුවරයා ඇරැඹි වීදි නාට්‍ය කලාව රැක ගැනීමේ අදහසින් විවිධ කටයුතු රාශියක් ඉදිරියේ දී ඉටු කිරීමට නියමිතය. ඒ පිළිබඳව පසුගිය දිනෙක ඇය සරසවිය හා කතාබහක යෙදුණා ය.

* විවෘත වීදි නාට්‍ය කණ්ඩායමේ ආරම්භය පිළිබඳ මතකයට නැගුවොත්
ගාමිණී හත්තොටුවේගම ගිය සුන්දර මාවත දිගේ ආයෙත් එන්න වීදි නාට්‍ය බලන්න

විවෘත වීදි නාට්‍ය කණ්ඩායම ආරම්භ වන්නේ 1974 වර්ෂයේදීයි. ලබන වසර වනවිට විවෘත වීදි නාට්‍ය කණ්ඩායමට වසර 40 ක් සපිරෙනවා. එය ආරම්භ කරන්නේ රංග ශිල්ප ශාලිකාවේ සිටිය නාට්‍ය කණ්ඩායමත් සමඟයි. 

ඒ කාලයේ සිටිය මේ කණඩායමේ ඉල්ලීම මත ගාමිණී හත්තොටුවේගම මහත්තයා ආරම්භ කළ විවෘත වීදි නාට්‍ය කණ්ඩායමේ පරාක්‍රම නිරිඇල්ල, එච්.ඒ. පෙරේරා, නිමල් චන්ද්‍රසිරි, ගාමිණී හෙට්ටිආරච්චි, නිවිතිගල ප්‍රේමදාස වැනි කලා කරුවන් රාශියක් සිටියා. මීට මා සම්බන්ධ වුණේ 1975 වසරේදියි.

එතැන් පටන් කාලයක් මා විවෘත වීදි නාට්‍ය කණ්ඩායමත් සමඟ සිටියා. පසුකාලීනව වරින් වර කණ්ඩායමට සම්බන්ධ වුණේ හත්තොටුවේගම සර්ගේ අවසරය ඇතිවයි.

* නමුත් පසුකාලීනව විවෘත වීදි නාට්‍ය කණ්ඩායමේ නියමුවා ජීවිත වේදිකාවෙන් සමු ගන්නවා. ඊට පස්සේ ඒ කණ්ඩායමට මොකද වෙන්නේ ?

සර් අප හැර ගොසින් මගේ මතකයේ හැටියට වසර තුනක් පමණ සපිරෙනවා. ඔහු සිටියා නම් කොහොම හරි මේ කණ්ඩායම ගැට ගහගෙන කරගෙන යන බව මට විශ්වාසයි. 

ඔහු රංගන හැකියාවන් තියෙන පුද්ගලයන් තනන්න අති දක්ෂයෙක්. පසුකාලීනව සර්ගේ තිබුණු රෝගී තත්ත්වය ආදී දේ සමඟ කණ්ඩායමේ පරිණත බවක් තිබුණේ නැති බව ඇත්තයි.

 සර්ගේ අභාවයත් සමඟ මට නිරන්තරයෙන්ම සිතුණ දෙයක් වුණේ මේ විදියට ගියෝතින් වීදි නාට්‍ය අපට නැතිවේ ද යන්නයි. ඒ නිසා පළමුව අප කළේ පදනමක් ගොඩනඟා ගැනීමයි.

* එදා ඇති කරගත් පදනමද මේ සක්‍රීය වී සිටින්නේ ?

ගාමිණි හත්තොටුවේගම නමින් නම් කළ ඒ පදනම ආරම්භ කිරීමට නිමල් චන්ද්‍රසිරි සහෝදරයගෙන් ලැබුණු සහයෝගයත් අප මතක් කළ යුතුයි. සාමාජිකයන් හත්දෙනෙකුගෙන් යුත් මේ පදනමේ අවසරයෙන් තමයි වීදි නාට්‍ය කටයුතු දැන් කෙරෙන්නේ. 

ගාමිණී හත්තොටුවේගමට අයිති යම් දෙයක් වේද ඒ සියල්ල සිදු කරන්නේ පදනම හරහායි. මේ පදනමෙන් කෙරෙන සියලුම දේ මගේ මෙහෙය වීම යටතේ සිදු කෙරෙනවා. 

ඒ සඳහා කිසිවකුගෙන්වත් විරුද්ධත්වයක් ඇති වුණේ නැහැ. කණ්ඩායමේ පැරැණිම සාමාජිකාවක් විදියට සර්ගේ තිබුණු අදහස් ආදී සියල්ල මා දැනගෙන සිටියා. 

ඒ නිසා මේ පදනම මඟින් දිගින් දිගටම සර්ගේ අරමුණු ආරක්‍ෂා කරගනිමින් ඉදිරියට රැගෙන යෑමට අපි උත්සාහ ගන්නවා.

* ගාමිණී හත්තොටුවේගම පදනම මඟින් සිදු කෙරෙන මේ නැවුම් කටයුත්ත කුමක්ද?

සර් මිය ගියේ ඔක්තෝබර් 30 වැනිදා. 2014 වසරේ ඔක්තෝබර් 30 වැනි දා දක්වා නාට්‍ය රංග කලා වැඩමුළු මාලාවක් පැවැත්වීමට අපි තීරණය කළා. දින තුනකින් සමන්විත මේ වැඩමුළුව පළමුව අප ආරම්භ කරන්නේ මේ මාසයෙහි 25, 26, 27 දිනයන් හි මහව හීනුක් වැව අභිමානී ජන සෙවණේ දීයි. එහි යන අප ඔවුන්ට වීදි නාට්‍ය කියන්නේ කුමක්ද? සමාජයේ තිබෙන අර්බුද කෙරෙහි ඔවුන්ගේ නෙත් විවර කිරීමටත්, අවසානයෙහි නාට්‍ය සංදර්ශනයක් පැවැත්වීමටත් කටයුතු කරනවා. ඒ සංදර්ශනය සඳහා වැඩමුළුව කරන කාලයේදී ගමෙන් නාට්‍යයක් ගොඩනඟා එය සංදර්ශනය දිනයේදීම ඉදිරිපත් කිරීමටත් අප සූදානම්. අනික් කාරණය වන්නේ අප යන සෑම ප්‍රදේශයකින්ම වීදි නාට්‍ය කණ්ඩායමක් ගොඩනැඟීමයි. 

මේ වනවිටත් ප්‍රාදේශීය මට්ටමින් මාසයකට සැරයක් එවැනි නාට්‍ය රංග කලා වැඩ මුළු රාශියක් සඳහා ආරාධනා ලැබිලා තියෙනවා. 

ඊට අමතරව ඔබගේ ප්‍රදේශයේත් මෙවැනි වැඩ පිළිවෙළක් ආරම්භ කිරීමට අවශ්‍ය නම් සියල්ල සංවිධානය කිරීමෙන් අනතුරුව 071-81100988 හා 077-7751909 යන දුරකථන අංකවලට ඇමතීමෙන් ඔබට දිනයක් වෙන් කරවා ගත හැකි බවත් සඳහන් කළ යුතුයි.

* ගමින් ගමට යන මේ වැඩ පිළිවෙළේ දී ඔබගේ කණ්ඩායමට මුදල් කියන සාධකය බලපෑම් කරන්නේ නැතිද?

බොහෝවිට මේ සියලු කටයුතු කෙරෙන්නේ අපගේ පෞද්ගලික වියදමින්. වීදි නාට්‍ය කියන්නේ මුදල් අය කර පෙන්විය යුතු දෙයක් නොවන නිසා අප ඒ සඳහා මුදල් අය කරන්නේ නැහැ. නමුත් යම් සංවිධායකවරයෙක් අපගේ ගමන් ගාස්තු ගෙවන්නේ නම් අප එය කෘතඥ පූර්වකව භාර ගන්නටත් කැමැතියි.

 ඒ වගේම අප කණ්ඩායම මුදල් කිසිවක් අය නොකරන නිසා ඒ සිටිනා කාලය ඇතුළත අවශ්‍ය නවාතැන් පහසුකම්, ආහාරපාන ආදී සියල්ල සැපයීමටත් ඔවුන්ට සිදුවෙනවා. පාසල් මට්ටමින් වුණත් වීදි නාට්‍ය සංදර්ශන කරන්නට අප වඩාත් කැමැති බවත් කිව යුතුමයි.

* වර්තමානයේ පවතින දියුණු තරගකාරී සමාජයේ දී වීදි නාට්‍ය සදහා මුදල් මූලික නොවීම හා දියුණු තාක්‍ෂණය හමුවේ අනාගතයේදී අප අතරින් මෙවැනි වටිනාකමක් හිමි වූ නාට්‍ය කලාවක් අභාවයට යන්නේ යැයි ඔබට නොසිතෙන්නේද?

මේ තත්ත්වය දැනටමත් පවතින තත්ත්වයක්. පෞද්ගලික මුදල් යොදා ගනිමින්, විවිධ ආයතනවලින් ලැබෙන මුදල් උපයෝගී කරගනිමින් මෙතෙක් පවත්වාගෙන ආ මේ කටයුත්ත දිගටම කරගෙන යා නොහැකි බව අපට වැටහුණා. 

ඒ නිසයි අපි පදනමක් ගොඩනඟා ගත්තේ. ඒ පදනම වටා විශාල පිරිසක් එක්රොක් වෙලා සිටිනවා. ඒ අයත් සමඟ එකතුවෙලා පදනමට මූල්‍යමය ශක්තියක් ලබාදීමේ වැඩපිළිවෙළක් අප ක්‍රියාත්මක කරන්නට බලාපොරොත්තු වෙනවා. 

එහි දී අපගේ පරමාර්ථයට හානි නොවන අයුරින් ඒ කටයුතු සංවිධානය කිරීමට අපි උත්සාහ ගන්නවා. එවිට අපි නැති කාලෙක වුණත් අනාගත පරපුරට වීදි නාට්‍ය කියන්නේ මොකක්ද කියලා දැනගන්නට ලැබේවි.

තිලානි ශානිකා විතානාච්චි
සේයාරුව - මාලන් කරුණාරත්න
සරසවිය

අමිතාබ්ව බලන්න පුංචි අමුත්තියක් ඇවිත්

බොලිවුඩ්පුරයේ ‘බිග් බී’ හෙවත් අමිතාබ් භච්චන්ට මේ වන විට වයස අවුරුදු 71ක්. පසුගිය දිනවල ඔහු අසනීපයෙන් පසුවුණා. අමිතාබ්ට සෙම්ප්‍රතිශ්‍යා උණ සහ උදරාබාධයක් වැලඳී තිබුණා. මේ නිසා ඔහු දින කිහිපයක්ම නි‍ෙවසෙහිම රැඳී සිටිමින් විවේක ගත්තා.

ඊට කලින් ඔහු බෙහෙවින් කාර්යබහුලව සිටියා. ඒ, ඉන්දියාවේ ජනප්‍රිය ප්‍රශ්න විචාරාත්මක වැඩ සටහනක් වන ‘කෞන් බනේගා ක්‍රෝපට්’ රූගත කිරීම්වලට එක්වී සිටිය නිසයි. මේ දිනවල රූගත කෙරෙන්නේ මේ වැඩසටහන් මාලවේ 7 වැනි වාරයයි.

අමිතාබ් මෙහි ප්‍රශ්න විචාරකයා ලෙස කටයුතු කරනවා. මෙහි තවත් වැඩසටහන් කිහිපයක්ම ඉදිරි කාලයේ දී රූගත කිරීමට නියමිත නිසා අමිතාබ් තම අසනීප තත්ත්වය ඉක්මනින් සුවකර ගන්නට උනන්දු වුණා.

පසුගිය සතිය වන විට අමිතාබ් ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරී තිබුණා. නි‍ෙවසේ තම කාමරයට වී විවේකයෙන් පසුවන අමිතාබ් ගේ සුවදුක් විමසන්නට පුංචි අමුත්තියක් පැමිණියා.

ඒ වෙන කවුරුන්වත් නොවෙයි. පුංචි ආරාධ්‍යා. අමිතාබ් ගේ මිනිබිරිය ඇයයි. ඇය අභිෂේක් සහ ‍ෙඑශ්වර්යා ගේ දියණිය බව අමුතුවෙන් සඳහන් කළ යුතු නැහැ. ලබන නොවැම්බර් 16 දාටයි ඇයට අවුරුදු 2 පිරෙන්නේ.

“මේ පොඩිත්තී මගේ කාමරයට දණගාගෙන ආවා. මගේ සැපදුක් බලන්න තමයි ආවේ. ඇවිත් එයා දන්න හැටියට මගෙන් ප්‍රශ්න ඇහුවා.” අමිතාබ් තම ට්විටර් වෙබ් පිටුවෙහි එලෙස සටහන් කළා.

මේ සතියේ දී නැවතත් ‘කෞන් බනේගා ක්‍රෝපට්’ වැඩ සටහනේ රූගත කිරීම්වලට සහභාගි වෙන්නටයි අමිතාබ් බලාපො‍ෙරාත්තුව සිටින්නේ. අමිතාබ් රඟපෑ අලුත්ම චිත්‍රපටය, ‘සත්‍යග්‍රහ'. තවත් චිත්‍රපටයක රඟපාන්නටත් ඔහු, ගිවිසුම් අස්සන් කරලා. මේ චිත්‍රපටයේ නම, ‘102 නොට් අවුට්'. මෙහි අමිතාබ් රඟන්නේ දිගුකලක් ජීවත් වී ලෝක වාර්තාවක් තබන්නට උත්සාහ කරන මහලු මිනිසෙකුගේ චරිතයක්.

සුජීව තේවහෙට්ටිගේ
රසදුන

Monday, October 21, 2013

කත්‍රිනාගෙයි රන්බීර්ගෙයි රහස ….

ගිය සතියෙ දවසක රන්බීර් කති‍්‍රනාව  කෑමකට එක්කගෙන ගිහින්. මේ දෙන්නත් එක්ක රන්බීර්ගෙ අම්මා නිතූ කපූරුයි කත්‍රිනාගේ යාළුවො දෙතුන් දෙනෙකුත් ඉන්නවා ගොඩක් අය දැකලා තියනවා. 

රන්බීර් එයාගෙ අම්මට ගොඩක් ආදරෙයිනෙ, ඉතින් ඇය කැමති කෙනෙක්වලූ ඔහු කවදහරි කසාද බඳින්නෙ. 

සමහර විට ඒ නිසා වෙන්න ඇති රන්බීර් කති‍්‍රනාව අම්මට මුණගැස්සුවෙ.කොච්චර නෑ කිව්වත් මේ දෙන්නා අතරෙ සම්බන්ධයක් තියෙනවා කියලා හිතෙන්නෙ මේ කථා ඇහුවට පස්සෙයි.

කොහොමහරි  කෑම අතරෙදි   රික්ෂෝ සවාරියක් එක්ක ගිහින්  රන්බීර් කති‍්‍රනාව පුදුම කරවලා. 

ආරංචියේ හැටියට කති‍්‍රනත් රික්ෂෝව පදවලා තියනවා . ඒ වෙලාවේදී පුදුමයට පත් වුණ පාරේ හිටපු පොලිස් නිලධාරියෙක් ඇයව නවත්තලා සමරු අත්සනකුත් අරගෙන තියනවා.

කති‍්‍රනා කයිෆ් දැන් හරි ගණන් ලු….

සුපිරි බොලිවුඩ් නිළි කත්‍රීනා කයිෆ් බොලිවුඩ් නිළියන්ගෙන් වැඩිම ආදායමක් ලබන බවයි ඉන්දීය බොලිවුඩ් පුරයෙන් ලැබෙන ආරංචි පවසන්නේ.

එම නිසා බොලිවූඩයේ වැඩීම ආදායම් ලාභී රංගන ශිල්පීන් අතරින් කත්‍රිනා ප්‍රමුඛස්ථානය ගෙන තියෙනවා.

කත්‍රීනාගේ අදායම වැඩි වීම නිසා ඇයට ඉන්දියාවේ වැඩිම  ආදායම් බදු ගෙවන්නත් සිද්ධ වෙලා

මේ නිසා ඇය ඉදිරියට රඟපාන්න තියන චිත්‍රපට වලට දැනටමත් ගිවිසුම් කිහිපයක් අත්සන් කරලා තියන බවයි අපට වාර්තා වන්නේ.

අලුත්ම Hair Style එක

පසුගියදා තිරගත වුණු අනිත්‍යා සිනමා සිත්තමෙන් සිංහල සිනමාවට නවක නිළියක් එක් වුණා. 

ඇය මැණික් විජේවර්ධන. සිය පළමු රංගනය වුණත් තම දක්ෂතාවයෙන් සාර්ථක වෙන්න මැණික්ට හැකි වුණා. දැන් ඇය ඇගේ දෙවැනි සිනමා නිර්මාණය සඳහා රංගනයෙන් දායක වෙන්නත් සූදානම්.

මේ අලුත් චිත්‍රපටයේ මුහුරත් උත්සවය සඳහා මැණික්ට ආරාධනා ලැබුණා. එය පවත්වන්නට නියමිතව තිබුණේ සවස් වරුවක. 

ලෑස්ති වෙන්නත් සෑහෙන වෙලාවක් තිබුණු නිසා මැණික් ටිකක් නිදා ගත්තා. 

කොහොම හරි මුහුරත් උත්සවය ආරම්භ කෙරෙන වේලාව වෙනකල්ම මැණික්ට නින්ද ගිහින්. 

කොහොම වුණත් කලබලේට ලෑස්ති වුණ ඇය අදාළ ස්ථානයට ආවා. මැණික් දකින හැමෝගේම ප්‍රශ්නය වුණේ ‘කොණ්ඩෙට මොකද වුණේ?’ කියන එක.

එදා මුහුරත් එකට පැමිණි හැමෝම මැණික්ගෙන් මේ ගැන ඇහුවා. මේක හිතා ගන්න බැරි වුණ ඇය වාහනයක පැති කණ්ණාඩියකින් බැලුවා. එතකොට තමයි ඇයට තේරුණේ කලබලේට ලෑස්ති වෙලා ආවා මිසක් කොණ්ඩෙ පීරුවෙ නැහැනේ කියලා. 

ඇය මේ දවස්වල කොණ්ඩෙ ටිකක් කොටට කපල ඉන්නේ. ඉතිං ඊට පස්සේ ඇය කොණ්ඩෙ ගැන අහපු හැමෝටම කිව්වෙ මේක තමයි අලුත්ම ස්ටයිල් එක කියලා.

Thursday, October 17, 2013

අපිත් සූරයෝ සරසවි ඇවිත්

සුරංග ද අල්විස්ගේ දෙවන සිනමා කෘතිය අපිත් සූරයෝ නමින් නම් කොට ඇති අතර එහි මුහුරත් උළෙල පසුගියදා දළුගම සරසවි චිත්‍රාගාරයේදී පැවැත්විණි.

ජීවන් කුමාරණතුංග, බුද්ධික ජයරත්න, ක්ලීටස් මෙන්ඩිස්, දුලීකා මාරපන, ශ්‍රීමාල් වෙඩිසිංහ, හිමාලි සිරිවර්ධන, ධර්මප්‍රිය ඩයස්, නිහාල් ප්‍රනාන්දු, මැණික් විජේවර්ධන අපිත් සූරයෝ හි චරිත මවනු ලබයි. මෙහි නිල්මිණි තෙන්නකෝන් සමඟ සුරාජ් මාපා ආරාධිත රංගනයක යෙදෙති.

යුනිවර්සල් ලංකා පික්චර්ස් වෙනුවෙන් සමන්ත මීඇල්ල සහ මෙත්සිරි කුමාරසිංහ අපිත් සූරයේ නිෂ්පාදනය කරති. 

සරත් ද අල්විස් සංගීත අධ්‍යක්ෂවරයාය. ප්‍රවින් ජයරත්න සංස්කරණ ශිල්පියාය. තිසුල දීපතඹවිට කැමරාව මෙහෙයවන අතර රිහාන් රවීන්ද්‍රගේ සහාය අධ්‍යක්ෂණයකි. කතාව, දෙබස්, තිර රචනය බුද්ධික ජයරත්නගෙනි. 

සමන්ත මායාදුන්න සටන් අධ්‍යක්ෂවරයාය. ප්‍රියංක රත්නායක අංග රචනයෙන් ද, දිනේෂ් ජයශාන්ත කලා අධ්‍යක්ෂණයෙන් ද අපිත් සූරයෝ සඳහා දායක වෙති.

සුරංග අධ්‍යක්ෂණය කළ ඔහුගේ පළමු සිනමාපටය වන රජ හොරු ළඟදීීම තිරගතවීමට නියමිතය.

ඩිනක්ෂිගේ ‘ට්‍රබල් කතාව’

 දිනේෂ් ප්‍ර‍්‍රියසාද් ලාංකේය සිනමාවට සුවිශේෂ චිත්‍රපට රැසක් දායාද කළ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්. 


ඒ වගේම ඔහුගේ ආදරණීය දියණියන් තිදෙනාත් සිනමාව, පුංචි තිරය හැඩ කරන ජනප්‍රිය රංගන ශිල්පිනියන්.

දිනේෂ්ගේ අලුත් චිත්‍රපටය ඩබල් ට්‍රබල්. එහි සහාය අධ්‍යක්ෂණය කරන්නේ වැඩිමහල් දියණිය වන ඩිනක්ෂි ප්‍රියසාද්.

පසුගියදා දිනේෂ්ගේ මේ අලුත් ෆිල්ම් එක ගැන මාධ්‍ය හමුවක් පැවතුණා. එහිදී දිනේෂ් අදහස් දක්වා අවසානයේදී ඩිනක්ෂිටත් වචන කිහිපයක් කතා කරන්න අවස්ථාව ලබා දුන්නා. ඒ අවස්ථාවේදී ඩිනක්ෂි කිව්වේ මෙහෙම කතාවක්.

‘තාත්තා මට මේ චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂණ කටයුතු කියල වැඩ ටිකයි දුන්නේ. වැඩිපුරම මට කරන්න වුණේ තේ හදන එකයි, කෑම ලෑස්ති කරන එකයි, ගෙවල් අතුගාන එකයි තමයි. 

ඩිනක්ෂි කිව්වෙ සභා ගැබම හිනස්සවමින්. එහෙම වුණාට ඩිනක්ෂි දන්නවා ඇති ලෝක ප්‍රසිද්ධ බොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්ෂ රාජ් කපූර්ටත් එයාගෙ තාත්තා මුලින්ම දීලා තියෙන්නේ චිත්‍රාගාරය අතු ගාන්න කියලා.

මේ චිත්‍රපටය සමඟම සබැඳෙන තවත් කතාවක් තියෙනවා. ඩබල් ට්‍රබල් නිෂ්පාදනය කරන්නේ රාජ් රණසිංහ. මුලින්ම දිනේෂ්ව අධ්‍යක්ෂවරයෙක් කරමින් තිරගත වූ ව්ධ 1 චිත්‍රපටය නිෂ්පාදනය කළෙත් රාජ්.

මේ චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂණයෙන් ඩිනක්ෂිත් සහභාගි වන නිසා මෙරට චිත්‍රපට ඉතිහාසයේ තාත්තයි දුවයි දෙන්නම අධ්‍යක්ෂවරුන් කළ නිෂ්පාදකවරයා වන්නේත් රාජ් රණසිංහ.

ඒ වෙලාවේ සංවේදී නොවුණා නම් තමයි පුදුමේ

ඩිල්ෂාන් ගේ ක්‍රිකට් සමුගැනීම ගැන රංගන ශිල්පිනී මංජුලා තිළිණි කතාකරයි

රංගන ශිල්පිනී මංජුලා තිළිණි අතිශය හැඟුම්බර වූ අවස්ථාවක් පසුගිය දිනෙක අප මාධ්‍යයන් තුළින් දුටුවා.

ඒ තම ආදරණීය සැමියා වූ තිලකරත්න ඩිල්ෂාන් ටෙස්ට් ක්‍රිකට් දිවියෙන් සමුගන්නා බව ප්‍රකාශයට පත්කළ දිනය. 

එදින බොහෝ දෙනාගේ අවධානය ඩිල්ෂාන්ට වගේම මංජුලාට ද යොමු වූයේ කලකට පසු ඇයව දක්නට ලැබුණු හින්දා වන්නට ඇති. 

ඒ හේතුව නිසාම අප මංජුලාත් එක්ක මෙලෙස සංවාදයක නියැළුණා. ඒ අතරතුර ලෝ පතළ ඩිල්ෂාන් ගැන නොදත් කතා කිහිපයක්ම හෙළිදරව් කරනු ලැබුවා.

 මංජුලා මං කැමැතියි මුලින්ම ඔබ එදා ඩිල්ෂාන්ව සිප වැලඳගෙන සංවේදී වූ ඒ නිමේෂයට ඔබේ සිත ගෙනියන්න...?

ඇත්තටම ඒ මොහොත මට කවදාවත් අමතක වන්නේ නැහැ. ඩිල්ෂාන් ටෙස්ට් තරග ප්ලේ කරන එක නවත්වන්නට කලින් මගෙන් ඇහැව්වා. මේ තීරණය විතරක් නෙවෙයි, අපේ ජීවිතේ හැම වැදගත් වෙලාවකදීම තීරණ ගන්නේ අප කතාබහ කරලා.

මේ වෙලාවෙත් ඒක එහෙම්මම වුණා. කලින් දන්නවා වුණත් එදා මාධ්‍ය හමුව දා ඩිල්ෂාන් කතාකරපු විදිහට මට දැණුනේ මුලින්ම මටත් ඒ පණිවුඩය දුන්නා වගේ.

එතරම්ම ඒ වචන හරිම අව්‍යාජයි. ඩිල්ෂාන් බොහෝ කැපකිරීම් කරලා මේ තත්ත්වෙට අපු කෙනෙක්. එයාගේ ජීවිතේ හැම දෙයක්ම මං දන්නවා. ඩිල්ෂාන් වගේ කෙනෙකුගේ බිරිය වීමත් මා ලද වාසනාවක්. ඒ වෙලාවේ මං සංවේදී නොවුණා නම් තමයි පුදුමේ.

සාමාන්‍යයෙන් මැච් එකකට යන්න කලින් ඩිල්ෂාන් ඔබට කියන්නේ මොනවද?

එයා එදින කොච්චර ලකුණු ගානක් ගන්නවද කියලා කියන්න එයාට පුළුවන්. ඩිල්ෂාන් සීයක් ගහපු හැම වෙලාවකම ‘අද මං සෙන්චරියක් ගහනවා’ කියලා මට කිව්වා මට හොඳට මතකයි. මාත් ඔහුට උපරිමයෙන් මගේ ආශීර්වාදය දෙනවා මැච් එකකට යන්න කලින්.

ඔබ දෙපොළගෙන් කාටද වැඩිපුරම කේන්ති යන්නේ?


ඩිල්ෂාන්ට තමයි. මට එයා තරම්ම කේන්ති යන්නේ නැහැ. කොහොම හරි දෙන්නටම කේන්ති ගිය වෙලාවල්වලදී දෙන්නම සද්ද නැතුව ඉන්නවා. ඒත් පැයකට වඩා වැඩි වෙලාවක් දෙන්නටම එහෙම ඉන්න අමාරුයි.

ගෙදර ඉන්න දවස්වලට ඔබේ අතින් ඩිල්ෂාන්ට මොනවද කන්න හදලා දෙන්නේ?

එයා හරි ආසයි පොලොස් මැල්ලුම් කන්න. මං ඒක හදලා දෙනවා.

කෝ දැන් මංජුලා තිළිණි කියන නිළිය?

අනේ ඩිල්ෂානුත් කියනවා ඔහොම හිටියා ඇති රඟපාන්න යන්න කියලා. ඒත් මං තමයි පස්ස ගහන්නේ. හොඳ චරිතයක් ලැබුණොත් සලකලා බලනවා.

ඔබ අන්තිමට රඟපෑවේ ‘අවංකා’ ටෙලි නාට්‍යයේ නේද?

ඔව්, ඒ මීට වසර හතකට පමණ කලින්. ඒකත් හරියට කරගන්න බැරි වුණා.

බොහෝ කාලයක් රඟනොපෑව හින්දා ඔබේ ජනපි‍්‍රයත්වය අඩුවෙලා කියලා හිතෙන්නෙ නැද්ද?

මෙහෙමයි, නිළියක හැටියට ප්‍රේක්‍ෂකයන් අතරට නොගියත් ඩිල්ෂාන්ගෙ බිරිය හැටියට සමාජයේ පෙනී සිටියා. එහෙව් තත්ත්වයක් මත ඒපැත්තෙන් මිනිස්සු මාව හඳුනනවා. හැබැයි ඇතැම්දෙනා මං රඟපාපු ‘නිලංජනා, සින්දූර්’ වැනි ටෙලි නාට්‍යවල චරිත ගැන අදටත් මතක් කරනවා.

ඩිල්ෂාන් මංජුලා කැදැල්ලේ ඉන්න පුංචි පැටව් ගැනත් මේ වෙලාවේ මතක් කළොත් හොඳයි..?

අපේ ලොකු දුව රෙසඳි ලිනමා. එයාට අවුරුදු පහයි. දෙවැනියා ලිසදි දිහසංසා එයාට අවුරුදු තුනහමාරයි. පුතා දිහෙළ දින්හත්.

බබලා තුන්දෙනාගේම නම්වල ‘දි’ අකුර ඇතුළත් වුණේ දිල්ෂාන් හින්දද?

අනිවාර්යයෙන්ම ඒක තමයි හේතුව. අහුබුදු මහත්තයා තමයි නම් හැදුවේ.

කොහොමද ඔබලගේ නිමි ඇඳුම් ව්‍යාපාරයේ කටයුතු?

හොඳින් සිදුකෙරෙනවා. රාජගිරියෙයි අපේ ව්‍යාපාරික ස්ථානය තියෙන්නේ.

 ඔබ ඩිල්සාන් හා විවාහ වී මේ වන විට වසර පහක් ඉක්මවලා. කොහොමද ඒ කාලය ගැන දැනෙන්නේ?

අපේ ආදරේ නම් චුට්ටක්වත් අඩුවෙලා නැහැ. ඩිල්ෂාන් රාජකාරි කටයුතු හමාර කරලා ගෙදර දුවගෙන එන්න බලාගෙනයි ඉන්නේ. මං බඳින්න කලින් හිටියා වගේම අදටත් හොඳ සැහැල්ලුවෙන් ඉන්නවා. මං හිතනවා අපි මෙච්චර සතුටින්, සමාදානයෙන් ඉන්නේ පවුල් ජීවිතයට මුල්තැන දෙන නිසා කියලා. 

ඒ වගේම කොච්චර ජනපි‍්‍රයත්වයක් ලැබුණත් අපි දෙන්නා බොහොම සරලවයි ජීවිතය ගෙවන්නේ. එදා මාධ්‍ය හමුවේ දවසේ ඩිල්ෂාන්ගෙන් ප්‍රශ්න ඇසූ මාධ්‍යවේදීන්ව ඔහු ඇමතුවේ අයියේ, මල්ලීයෙ කියලා. ඒ සහෝදරත්වය අපි ගොඩනගාගෙන ඉන්න අර සරලකම හින්දමයි.

මේ වෙලාවේ තව දෙයක් මට කියන්න පුළුවන්ද?

ඔව්, කියන්න.

ඩිල්ෂාන් ටෙස්ට් දිවියෙන් සමුගත්තේ ජයග්‍රාහී විදිහට. ඒ ඔහු පොළොවේ පය ගහලා හිටපු නිසා. අපි යමක් හම්බ කළාද ඒක හොඳ විදිහටයි කළේ. ඒ ගැන හිතද්දී අපේ ජීවිත පිළිබඳ තෘප්තිමත්වයි මං ඉන්නේ.

ඕන දෙයක් ගැන අහන්න හැබැයි විවාහය ගැන අහන්න එපා


පුංචි තිරයේ පෙම්වතා මේනක රාජපක්‍ෂ ගෙන් ඉල්ලීමක්

මේනක රාජපක්‍ෂ තරම් පුංචි තිරයේ පෙම්වතකු වූ නළුවකු මෑත කාලයේ බිහිවූයේ නැත. 

එමෙන්ම ඔහු ආදරවන්තයකු වූ පළමු ටෙලි සිතුවම ‘මුතුකිරිල්ලී’ හි ආදරයෙන් ළං කරගත් නෙහාරා සැබෑ ජීවිතයේ ද මේනකගේ ආදරවන්තිය බවට පත්විය.

මේනකට අප කතා කළේ ඒ ආදර කැදැල්ලෙත් කලා දිවියේ තොරතුරුත් සොයා බලන්නටය. ඒත් මේ සංවාදය ඇරැඹීමට මත්තෙන් ඔහු කියා සිටියේ විවාහය ගැන කිසිවක් ප්‍රකාශ නොකරන බව පවසමිනි.

මේනක මොනවද ඔබගේ කලා දිවියේ අලුත් තොරතුරු...?

මේ දවස්වල ‘මුතු සහ මහින්සා’ කියලා නාට්‍ය දෙකක වැඩ. ඊට අමතරව ‘අම්මාවරුනේ’ විකාශය වෙනවා.

 දැන්වත් පෙම්වතාගෙන් මිදෙන්න ආසවක් නැද්ද?

මං කොච්චර පෙම් චරිත රඟපෑවත් රසිකයා මාව ප්‍රතික්ෂේප කරලා නැහැ. මට ළැදි පිරිස් මාව මුණගැසුනම කවදාවත් ප්‍රකාශ කරලා නැහැ ‘මේනක දැන් ඇති පෙම්වතා වුණා’ කියලා. එහෙම කිව්වොත් ඒ මොහොතෙ ඉඳලා මං පෙම්වතාගේ චරිතය නවත්වනවා.

මේ දවස්වල ආයෙත් ඉගෙනුම් කටයුතුවල නියැළෙනවා කියලා ආරංචියි?

ඔව්.

ඒ ගැනත් කියමු?

මං ව්‍යාපාර කළමනාකරණය හා සබැඳි උපාධියක් හදාරනවා පෞද්ගලික ආයතනයක.

ඇයි හදිසියෙම මෙවන් වූ උපධියක් හදාරන්න හිතුවේ?

මං පොඩිකාලේ ඉඳලා කොහොමත් පි‍්‍රයයි ව්‍යාපාරික කටයුතුවලට. ඒත් පහුකාලීනව එම විෂය ඉගෙන ගන්න බැරි වුණා. මං හිතනවා මේ තමයි ඊට හොඳම කාලේ. අනික ඉගෙන ගත්දෙයක් අපතේ යන්නෙ නැහැනේ.

රංගනය කරන ගමන් ඉගෙන ගන්න වෙලාවක් තියෙනවද?

ඒකට තමයි කාල කළමනාකරණය කියලා දෙයක් තියෙන්තේ. ඉතින් මට පුළුවන් කාලය හොඳින් හැම කටයුත්තටම බෙදා වෙන් කරගන්න.

මේනක මේ සරසෙන්නේ හෙමින් හෙමින් ව්‍යාපාරයකට අත ගසන්නද?

ඒක කියන්න බැහැ. මුලින්ම ඩිග්රිය අරගෙන ඉමුකෝ. ඊට පස්සේ කරන දෙයක් කරන්න බැරියැ.

මෙවර ජනපි‍්‍රය නළුවා ගේ ලැයිස්තුවේ ඔබ ඉන්නේ පහළම අඩියක. ඇයි එහෙම වුණේ?

ජනතාවගේ කැමැත්ත ඒක නම් හිස නමා ඒ මතය පිළිගත යුතුයි.

ඒ කියන්නේ මේනකව රසික රසිකාවන්ට එපා වෙලාද?

නැහැ. ඒක එපාවිල්ලක් නෙවෙයි. නළුවන්නට ලැබෙන චරිත අනුව ජනපි‍්‍රයත්වය වෙනස් වන්නට පුළුවන්. රසිකයන්ට එපා වෙලානම් මාව දැක්කම අහක බලන්න එපායැ.

කටකතා මේනකට හැමදාමත් හුරු පුරුදුයි. එහෙම නේද?

අනේ ඔව්, ඒත් දැන් ඒවා මං ගණන් ගන්නේ නැහැ. කටකතා හදන්නේ කවුද කියලා හොය හොයා ඉන්නවට වඩා මට වැඩ තියෙනවා. අනික ඕවා සේරම මට මඩ ගහන්න හදන කතා. කිසිම පදනමක් නොමැතිව කොහොම මිනිස්සු මේවා හදනවද මන්දා.

ඔබ ගැන දූෂමාන ආරංචි පැතිර ගියාම කේන්ති යන්නෙ නැතිද?

නිෂ්පල දෙයකට කේන්ති අරගෙන වැඩක් නැහැ. ඇයි අපි අදාළ නැති දෙයකට ලේ පුච්ච ගන්නේ.

ඔබ ගැන සෑහෙන්න කටකතා හැදෙන්නෙ ඇයි මේ වෙබ් සයිට්වල?

වෙබ් සයිට් අපෙන් අහන්නෙවත් නැතුවයි මේවා දාන්නේ. ඒ වගේම කතන්දර ගොතන්නත් ඔවුන් හරි දක්‍ෂයි. නොවෙච්ච දෙයක් ඇත්ත වගේ ඒවයේ තියෙනවා. ඒත් දැන් දැන් මිනිසුන්ට තේරිලා තියෙන්නේ ඒවායේ කරන බොරුව.

අපේ කලා ක්‍ෂේත්‍රයේ ඇතුළෙම ඉන්න අය මේවා හදනවා කියලයි ඇතැම් අය කියන්නේ?

වෙන්නත් පුළුවන්. මේ ක්‍ෂේත්‍රයේ ඉන්න ගොඩක් දෙනෙකුව මං විශ්වාස කරන්නේ නැහැ. මට යාළුවොත් අඩු ඒකයි. වැඩියෙන් ළං වෙන්න හදන අය ගැන බොහොම ප්‍රවේශමෙන් ඉන්නේ.

හෙට මේනකව අධ්‍යක්‍ෂවරයකු නාට්‍යවලට ගත්තේ නැතිනම් මොකද කරන්නේ?

මේ හැම දෙයක්ම තාවකාලිකයි එවැනි දෙයක් වුණොත් මට කරන්න බොහෝ දේ තියනවා. මගෙ හිත හයියයි.

කෝ නෙහාරා?

එයා හොඳින් ඉන්නවා.

කවදද ඔබ දෙපොළගෙ විවාහය සිද්ධ වෙන්නේ?

මං කලිනුත් කිව්වනේ අපි ඒ ගැන කතා නොකර ඉමු.

එතකොට ඔබලා මේ නොවැම්බරයේ විවාහ වන්නට සිටිනවා කියලා පැතිරෙන කතාවේ ඇත්ත නැත්ත?

...................

ඔබත් නෙහාරත් කිසියම් ගැටලුවකට මැදිවෙලාද ඉන්නේ?

...................

ඇයි මාධ්‍යයට ඒ ගැන මුකුත් කියන්නේ නැත්තේ?

...................

මේනක පිළිතුරු නොදුන් ප්‍රශ්නවලට ඔහු කියනදේ ළඟදීම සරසවියෙන් බලාපෙරොත්තු වන්න.

විවාහ වෙලා හිටියත් එයා මට කතා කරනවා

 ශලනි පළමු ප්‍රේමය සිහිකරයි
‘ආදරය සුන්දර වරදකී’.....

ප්‍රේමය හා විරහව පිළිබඳ කතාබහක යෙදෙන සෑම විටෙකම මගේ මතකයට නැෙඟන මේ ගීතය ගයන්නේ කරුණාරත්න දිවුල්ගනේ ය. සංවේදී හදවතේ ඉපැදෙන ප්‍රථම ප්‍රේමය ලොව සුන්දරතම සිතුවිලිවලින් එකකි. 

ඒ සොඳුරු සිතුවිලි වරෙක සොඳුරුය. වරෙක කටුකය. දෙදෙනෙකු ගේ හදවත ඉපැදෙන ප්‍රථම ප්‍රේමය මල්පල දරන්නේ අහම්බයෙනි. එසේ හදවතෙහි ඉපිද, හදවත පතුලෙහි තැන්පත්ව මතක මං පෙතෙහි සැරිසරන ප්‍රථම ප්‍රේමය පිළිබඳ මේ පත් ඉරුවෙහි ඔබ ආදරය කරන තරු මෙසේ සඳහනක යෙදෙති. ඒ සඳහනට මෙවර පිවිසෙන්නේ ජනපි‍්‍රය තරු ගොන්නෙහි සිටින තාරකාවක් වන ශලනි තාරකායි.

ප්‍රේක්‍ෂකයින් ගොඩක් ආදරය කරන ශලනි පෙම්වතියක් ද?

නෑ, දැනට නෑ.

ඒ කියන්නේ ඔබ කලින් පෙම්වතියක් වෙලා හිටියා?

එහෙම තමයි.

රඟපෑමට කලින් ද, එහෙම නැත්නම් ඊටත් පෙරද?

රඟපෑමට එන්න කලින් තිබුණු ආදර සම්බන්ධයක්.

ඔහුගේ නම කියමු?

ඒ කිසිම දෙයක් කියන්න බැහැ.

ඇයි ඒ?

එහෙම හොඳයි.

ඔහුව ඔබට මුණ ගැසෙන්නේ කොහොමද?

චර්ච් එකේදී.

ඔහු දේවස්ථානයේ මොකද කළේ?

චර්ච් එකේ තිබුණු මංගල උළෙලකට ඔහු ඇවිත් හිටියා.

ඔබ එහි මොකද කළේ?

මම ගොඩක් වෙලාවට දේවස්ථානයේ කෙරෙන වැඩ කටයුතුත් සමඟ නිතරම සම්බන්ධ වෙන කෙනෙක්. එදත් එහි තිබුණු මංගල්‍යයකට මම නැටුම් වගයක් ඉදිරිපත් කළා.

ඔහුව දැක්ක වෙලාවේ ඔබට මොනවද සිතුණේ?

ඔහුව මුලින්ම දැක්කේ මම නෙවෙයි. මගේ යාළුවො ටිකයි මට ඔහු ගැන කිව්වේ.

මොනව ද ඔවුන් කිව්වේ?

ලස්සන කොල්ලෙක් ඉන්නවා කියලා මට කිව්වා.

ඒ විතරක්ද?

නෑ, ඉතින් යාළුවො ටික එකතු වුණාට පස්සේ විහිළුවට විවිධ දේ කරනවා. ඒ නිසා ඔහුට අපි පුංචි ජෝක් එකක් කළා.

ඒ ජෝක් එක අවසානය ප්‍රේමයට පෙරළුණා?

අපෝ නැහැ. කොහොම හරි ඔහුව නෝන්ඩි කරන්න වගේ මගේ යාළුවො සියලු දෙනාම හිනාවුණා.

ඔයත් ඒකට එකතු වුණා?

නෑ මම විතරයි ඔහුට හිනා නොවුණේ.

ඒ මොකද?

මම සාමාන්‍යයෙන් කිසිම කෙනෙක්ව මුලින්ම ගණන් ගන්න කෙනෙක් නෙවෙයි.

ඒ කියන්නේ?

මම ඒ පුද්ගලයාව දන්නේ නැත්නම් ඔහු හිනා වුණත් මම හිනා වෙන්නෙ නෑ. කතාබහ කරන්න යන්නෙත් නෑ.

ඒක අදාළ වෙන්නේ කොල්ලෙක් නම් ද?

ඒ අයට විශේෂයි තමයි. කොල්ලන්ව මම කොහොමත් ගණන් ගන්නේ නැහැ. අනිත් අය වුණත් එහෙම තමයි. ඒකට ගැහැනු, පිරිමි කියලා වෙනසක් නෑ. හැබැයි ඒ කවුරු වුණත් මාත් සමඟ කතාබහ කළොත් මමත් කතා කරනවා.

ඒ ඔබ ආඩම්බර නිසාද?

නෑ, ආඩම්බර කමකට නෙවෙයි. ඒ මගේ හැටි.

ඔහුත් ඔබගේ, ඒ විදිහට කැමැති වුණා ද?

පසු කාලෙකදි නම් ඔහු කිව්වේ ඔහුගේ හිත යන්න ප්‍රධාන හේතුව වුණේ ඒකයි කියලා. අනිත් අය හිනාවෙන අතරේ මං හිනා නොවී සිටි නිසා මට හිත ගියා කියලයි. එතන හිටිය අනිත් අය අතරේ මම කැපී පෙනුණා කියලත් ඔහු කිව්වා.

ඊට පස්සේ මොකද වුණේ?

ඔහුගේ දුරකථන අංකය මට දෙන්න කියලා මගේ යාළුවන්ට දීලා ගිහින් තිබුණා.

ඒ අංකයට ඔබ කතා කළා?

අපි ඔහුට මුලින්ම කතා කළේ බයිට් කරන්න හිතාගෙනයි.

ඔහු බයිට් වුණා?

මුලින්ම නම් කළ විහිළුවට ඔහු ඇන්ඳුනා. ඊට පස්සේ දිගින් දිගිටම ඔහු කතා කළා. මමත් කතා කළා.

අන්තිමේදී ඒ කතාව දුරදිග ගියා?

ඔව් මාස දෙක තුනක් වෙනකොට අපි හොඳ හිතවතුන් බවට පත් වුණා. ඒත් සමඟම ඔහු ගේ අදහස මට කිව්වා.

ඔබත් එක්වරම කැමැති වුණා?

ඒ වෙනකොට ඔහු පිළිබඳ යම් කැමැත්තක් මගේ හිතේ තිබුණා. ඒත් කිසිම දවසක එයාට මම ආදරෙයි කියලා නම් නෑ.

නිවෙස්වල අයත් මේ ගැන දැනගත්තද?

මාස කිහිපයක් ගියාට පස්සේ අපි මේ සම්බන්ධය ගෙදරට කිව්වා. ඔහු මගේ මවත් සමඟ කතාබහ කළා. ඔහුගේ මවත් මා සමඟ කතාබහ කළා. මුලින්ම අප දැන හඳුනා ගත යුතුයි සිතුවා. මොකද විවාහ විය යුතු වයසක නෙවෙයි මම හිටියේ.

ඒ කියන්නේ ඔබ පාසල් යන යුවතියක්?

මම ඒ වෙනකොට හිටියේ දහය පංතියේ විතර බව මට මතකයි. ඔහු නම් A/L කරලා හිටියේ.

අම්මා මේ ගැන මොකද කිව්වේ?

අම්මා අපට මුලින්ම කියලා තිබුණා අපි විවාහ වන කෙනා තෝරාගත යුත්තේ අපිමයි කියලා. ඒ නිසා මගේ අදහසට විරුද්ධත්වයක් දැක්වූයේ නැහැ. නමුත් අම්මා ඔහුට කිව්වා මම තවම පාසල් යන කෙනෙක්. දැන හඳුනා ගත්තට කමක් නැහැ. ඒ දේවල් සිද්ධ වෙන්නේ අධ්‍යාපන කටයුතුවලින් පස්සේ කියලා.

ඔහු ඔබට මුලින්ම දුන් තෑග්ග මතකද?

ලස්සන පෑනක් වගේම චොක්ලට් එකක්.

ඔයා මොනවද ඔහුට දුන්නේ?

ඒකනම් මතක නෑ.

කොහොමද වෙන්වුණේ?

අපි දෙන්නගේ අදහස්වල නොගැළපීම් තිබුණා. ඒක තේරුණේ කාලයක් ගියාට පස්සේ. අපි දෙදෙනා කතාබහ කරලා වෙන්වූණා. ඒ අදරය අහිමි වෙලා දැන් අවුරුදු 9 ක් වෙනවා.

මේ වෙනකොට ඔබ රංගනයට පිවිසිලාද?

ඒ වෙනකොට මම සිරස කුමරිය තරගයට ගිහින් තිබුණේ.

ඔබ සිරස කුමරිය තරගයට ඉදිරිපත් වෙනවට ඔහු කැමැති වුණාද?

මුලින් නම් කැමැති වුණේ නැහැ. මගේ කැමැත්තට ඉඩ දුන්නා. පස්සේ අම්මා වගේම මගේ ළඟ ඉඳගෙන මාව ඒ තරගවලදී එහා මෙහා එක්කගෙන ගියේ ඔහුයි.

ඔහු ඔබ රඟපානවට කැමැති වුණාද?

මුලින්ම කැමැති වුණේ නෑ. ඒ නිසා මමත් රඟපෑම ප්‍රතික්‍ෂ්ප කළා.

මුලින්ම ඔහුට ද ඔබව එපා වුණේ. නැත්නම් ඔබට ද ඔහුව එපා වුණේ?

එහෙම දෙයක් නෑ. මොකද අදටත් ඉඳලා හිටලා ඔහු මට කතා කරනවා.

තවමත් ඔබ ඔහුට ආදරය කරනවා?

ඔහු දැන් විවාහකයි.

මොනවද එහෙනම් කතා කරන්නේ?

අතීතය ගැනවත්, වර්තමානය ගැනවත් නෙවෙයි. ඔහු සිටින සීමාවේ ඉඳගෙන සාමාන්‍ය දේවල් කතා කරනවා.

ඔබ ආදරය කරන්නේ නැතිද?

ඊට පස්සේ මම කිසිම කෙනෙකුට ආදරය කරලා නෑ. ඒකට වෙලාවක් තිබුණෙත් නෑ. එහෙම දෙයක් වෙනවා නම් ඒක නියම වෙලාවට වේවි.

මම දිරියෙන් නැගුන ගැහැනියක් ඉතින් ඇයි පිරිමියකු ළඟ දණ නමන්නේ


නිරෝෂා වෙන්නවත් සමිතා වෙන්නවත් නිල්මිණි වෙන්නවත් වෙන කාටවත් බෑ

‘ප්‍රේම මන්දිරේ
දෙදරා ගරා වැටේ
පුද දී හදින් නිකැළැල්
නොඉඳුල් දෙතොල් දෙනුවන්
ද තිළිණය කඳුළ ද ළඳුනේ
කුරිරු දෛවයේ . . .’

ඇය ගයන්නීය. භාවනාවකට සම වැදුනා සේ ඈ ගීතයට ජීවයක් ලබා දෙයි. ප්‍රේමයේ කුරිරු ගින්නෙන් දැවී අළුව යන දහසක් හදවත් මතට මහා සිසිලසක් මේ හඬින් දැනේ.

නෙතු පලා යන කඳුළක තෙතමනය හද දවා යන සුසුමක වියෝව සන්සුන් මනසකින් විඳ දරා ගන්නට ඇගේ හඬින් අපට පුළුවන. ප්‍රාර්ථනා කළ ලෝකය සුනු විසුනු වී යන විට ප්‍රේමයේ මල් මකරන්දය හිස මත කඩා වැටෙන විට . . . ආදරයේ දෙව් රුව සිඳී බිඳී ගිය කල . . . ජීවිතය අද්දර හිඳ සිනාසෙන්නට කියා දෙන්නී ඇයයි . . . ගී ලොව වැජඹෙන විරාජිනිය ඇයයි.

ජීවිතය් හැල - හැප්පීම් රාශියකට මුහුණ දුන් මේ කෝකිලාවිය කලකට පසු සරසවිය පුවත්පත හා සෙනෙහසින් ළෙන්ගතු කතාබහකට එකතු වූයේ ගීතය තරමට අපූරු වූ ඇගේ ජීවිතය ගැන කතාබහක නියැළෙන්නයි. ඔබෙත් – මගෙත් ආදරනීය නිරෝෂා දැන් මා අබියසයි.

‘ඉතාලි ගිහින් ලංකාවට ආවේ ඊයේ. ඇවිත් හුස්ම ගන්නවත් පුළුවන් වුණේ නෑ, තවම ආපු වෙලාවේ ඉඳන් වැඩ . . . වැඩ . . .’

* මේ තරමට මොනවද වැඩ අක්කේ?’

ගැහැනියක් ජීවිතේ හැම දේම තනියම කරගන්නවා කියන එක ලේසි දෙයක් නෙමේ මල්ලි. සංගීත ක්ෂේත්‍රයේම කොච්චර වැඩ ද . . . මේ දැනුත් රෙකෝඩින් එකකට ගිහින් එන ගමන්.’

* ‘අක්කේ ඔබ නිතරම විදේශ ගත වෙන ශිල්පිනියක්?’

‘මට එන ෂෝ ඔක්කොම භාරගත්තා නම් ඔයාලට මාව ලංකාවේ දකින්න හම්බ වෙන්නේ නෑ. විදේශ රටවලින් ලොකු ඉල්ලුමක් තියෙනවා. ඇත්තටම මට ඒ ගැන සතුටුයි. මොකද මල්ලි අද මම මේ ඉන්න තැනට එන්න නොසෑහෙන්න දුක් වින්ඳා. මගේම උත්සාහයෙන් තමා අද මම වැජඹෙන්නේ.’

* අපි දන්න හැටියට මුතු පලසක් උඩ ආ ගමනක් නෙමේ සංගීත ක්ෂේත්‍රයේ ඔබට තිබෙන්නේ?

සත්තකින්ම ඔව්. මගේ අම්මා මාව මේ තැනට ගේන්න නොසෑහෙන්න දුකක් වින්ඳා. අපි ඈත පළාතක දුෂ්කරතා රැසක් මැද ජීවත් වූ අය. අව්ව, වැස්ස එක්ක අපි පොර බදලා තියෙනවා. මම ජීවිතේ හොඳට දුක හඳුනනවා. එහෙම දුක් විඳපු නිසා තමා අද දෙයියනේ කියලා කාටවත්ම අත නොපා ලස්සන ජීවිතයක් ගත කරන්නේ. මුතු පලසක් තියා පැදුරු කෑල්ලක්වත් එදා මම ආ මඟට එලන්න අය හිටියේ නැහැ.’

* ඔබ විඳී දුක ඔබේ මුල්ම ගීතය ගායනා කරන යුගයේදී පවා තිබුණා නේද?


‘සිත හඬයි මගේ මුල්ම වීඩියෝ ක්ලිප් එක කලාකුරකින් හරි අද දකින කොට පුදුමාකාර සංවේදී බවක් මටම ඇති වෙනවා. එදා - අද ජීවිතය කොයි තරම් නම් වෙනස් වුණාද. අද වාගේ ලස්සන ඇඳුම් - පැලඳුම් – ආභරණ එදා තිබුණේ නැහැ. බොහොම දුක සේ අසීරුතා මැඬ ගෙන ආ ගමන් මගේ ලොකු ජයග්‍රහණයක් අද මම ජීවිතේ භුක්ති විඳීනවා.

* ‘මම හිතන්නේ ක්ෂේත්‍රයට එන්න ඉන්න දුප්පත් නංගිලාට ඔබ ලොකු ආදර්ශයක්?

දෙවියන් දීපු හඬ හැර මේ නිරෝෂාට වෙන මුකුත්ම එදා තිබුණේ නෑ. එදා උදව් කරන්න අත දෙන්න කවුරුවත් හිටියේ නෑ. පසු නොබසින උත්සාහය තමා ශක්තිමත් ගමනක් මා රැගෙන ආවේ. ඒ නිසා අද මාව වට්ටන්න ලෙහෙසියෙන් කෙනෙකුට බැහැ.

* පසුගියදා පැවැති දෙරණ – ලක්ස් සිනමා සම්මාන උළෙල තුළ ඔබ යළිත් වතාවක් සම්මානනීය වුණා?

සම්මාන ලබාදීම තුළින් දක්ෂ ශිල්ප - ශිල්පිනියන් ධෛර්යයමත් කරවනවා. කුස පබා හි ‘ප්‍රේම මන්දිරේ’ ගීතය ඒ චිත්‍රපටයේ එන සංවේදීම ගීතයයි. මා ගැන විශ්වාසය තබා මට එම ගීතය ලබා දීම පිළිබඳව සුනිල් සර්ට මම ගරු කරනවා. ප්‍රෙමයේ කටුක බව එම ගීතය පුරා අපූරුවට කියවෙනවා.

* ‘අක්කේ මේ තරම් අපූරුවට ඔබ ප්‍රේමයේ විරහව ගයන්නේ ඔබත් ජීවිතේ විරහව අත්දැකලා ඇති නිසා ද?

විරහව අත් දකින්නම ඕනේ නෑ මල්ලි දැනෙන්න ගයන්න. එහෙම නම් මගේ මුල්ම ගීතය සිත හඬයි ගායනා කරද්දීවත් මට ආදරය දැනිලා තිබුණේ නෑ. ගී පද හොඳින් තේරුම් ගත්තම ඒ ගීතයට හොඳ සාධාරණයක් ඉෂ්ට කරන්න පුළුවන්.

* ඔබේ ගීතවලින් කියවෙන බොහෝ දේ ඔබේම අත්දැකීම් දෝ කියලත් හිතෙනවා?

මගේ ජීවිතේ පහුගිය කාලේ සිදු වූ යම් යම් දේ දිහා බලන විට එහෙම හිතුණාට වරදක් නෑ. ආදරය . . . විරහව . . . අහිමි වීම . . . තනිකම . . . පාළුව මේ හැම දේම අපිට උරුම දේවල්නේ. හැබැයි දැන් මම අත්දැකීම්වලින් පොහොසත්. සමාජය ගැන හොඳ අවබෝධයක් ඇති හොඳ – නරක ඉතාමත් හොඳින් තේරුම ගන්න පුළුවන් කෙනෙක්.

* එහෙත් අතීතයේ ඔබටත් වැරදුණ තැන් තිබුණා?

සර්ව සම්පූර්ණ මිනිස්සු ලෝකයේ කොතනකවත් නැහැ. කවදා හරි, කාට හරි කොතනකදී හරි වැරදිලා තියෙනවා. හැබැයි එදා එහෙම වැරදුණ නිසා තමා අද බුද්ධියෙන් ජිවිතය දිහා බලන්න පුළුවන් වුණේ. එදා මේ නිරෝෂා හරිම අහිංසක ගැහැනු ළමයෙක්. විඳපු අත්දැකීම් තුළින්ම මාව ශක්තිමත් ගැහැනියක් බවට පත් කරලා දැන්.

* ඔබ හිතන්නේ ඔබට විවාහය වැරදුණේ කාගේ වැරදි හින්දා කියලාද?

විවාහ ජීවිතය තුළ තියා සමාජය තුළවත් මම වැරදි කරලා නෑ මල්ලී. මමත් කසාදයක් බැඳලා පවුල් ජීවිතය ඇතුළට ගියේ බිරියක්, මවක් ලෙස ඒ භූමිකාවන්වලට ආදරයෙන් මුහුණ දෙන්න හිතාගෙන. ලෝකයේ කිසිම ගැහැනියක් ආසාවෙන් පවුල් ජීවිතය කඩා බිඳ දාගන්නේ නැහැ. එත් නොගැළපීම් තියාගෙන ලෝකෙට පේන්න අපි දෙන්නා හරි ආදරයෙන් ඉන්නවා කියලා මවා පෙන්වන්න මට බෑ.

* සමිතා එරන්දතී පැවසුවේ මමවත්, නිරෝෂාවත්, නිල්මිණිවත් ආසාවෙන් එකම බෝට්ටුවකට නැග්ගේ නැහැ කියලා?

ඇත්තනේ මල්ලී, මට පෙන්නන්න ආසාවෙන් පවුල් ජීවිතයෙන් එළියට බැස්ස එක කාන්තාවක්ව. කවුරුත් කැමැති හොඳ පවුල් ජීවිතයක් ගත කරන්න. ඇත්තමයි මේ ළඟදී මම නිල්මිණි එක්ක කීවෙත් අපිට ළං වෙන පිරිමි අපිව තේරුම් ගත්තේ නෑනේ කියලා.

* අක්කේ, පළමුවැනි . . . දෙවැනි . . . වාගේ මේ සෑම විවාහයක්ම බිඳීලා යද්දී කෙනෙක් කියන්න බැරි ද එයාට මිනිස්සු යාදෙන්නේ නැහැ කියලා?

ගැහැනුන්ගේ පැත්තෙන්ම විතරක් ඔහොම හිතන්නේ ඇයි මල්ලි. පවුල් ජීවිතයක් ගත කරන්න තිබෙන ආශාව හින්දානේ මගේ පළමු විවාහය බිඳ වැටුණු පසු දෙවැනි විවාහයටත් පා තබන්නේ. නැතිනම් මිනිස්සු ඕනෑම නෑ කියලා ඉන්න බැරියැ.

මේකනේ මල්ලි, මේ සමාජය මැද අපි විශේෂ කාන්තාවෝ. විවාහ වෙලා දරුවෝ හදන්න හැම කාන්තාවටම පුළුවන්. ඒත් නිරෝෂා විරාජිනි වෙන්නවත් සමිතා මුදුන්කොටුව වෙන්නවත්, නිල්මිනි තෙන්නකෝන් වෙන්නවත් ලෝකේ කාටවත් පුළුවන්ද? බෑ. . . ඒකයි දෙවියන් අපිව විශේෂ චරිත බවට පත් කරලා, තව දෙයක් අපේ ජීවිතවලින් ඈත් කළේ. දෙයක් ලැබෙන කොට දෙයක් නොලැබී යනවා. නොලැබුණු දේ ගැන නොහිතා අද මේ ලැබී ඇතිදේ ගැන සතුටු වෙනවා.

* ජීවිතේට එවිට තනිකමක් දැනෙන්නේ නැද්ද?

මේ ලෝකයට අප එන්නෙත් තනිවම. දවසක යන්නෙත් තනිවම. මේ අතරමැද කාලයට බැඳීම් ඇතිකර ගෙන ඇයි දුක් විඳින්නේ කියලා හිතෙනවා. දවස පුරා මට වැඩ. ලත වෙන්න වෙලාවක් නැහැ.

* අක්කේ කුල ගෙයක මිහිර වියැකී ගියේ ඇයි?

මම දික්කසාදය අනුමත කරන්නේ නැහැ කවදාවත්. ඒත් එකට ඉන්න බැරි අවස්ථා පැන නගිනවා. සුහදව කතා කරලා ඈත් වෙනවා හැරෙන්න ගහ මරා ගන්නේ ඇයි . . . මේ සමාජය දමලා ගහන්නේම ගැහැනියට. දික්කසාදයකින් පසු වුණත් කොච්චර දේවල් කියනවාද ගැහැනියකට.

පිරිමින්ගෙන් ගුටි කකා පවුල් ජීවිත ආරක්ෂා කරගත යුතු නැහැ. දුප්පත්කමින් මේ ගමන මම ආවේ. අද මම හොඳ තැනක ඉන්නවා. ඇයි ඉතිං මම පිරිමියෙක් ළඟ වුණත් වැඳ වැටෙන්නේ.

* සමිතා කීවා දෙවියන් දීපු හඬක් නිරෝෂට තියෙන්නේ කියලා?

ඇය හැමදාමත් මාව අගය කරනවා. මේ වගේ නිර්භයව ප්‍රකාශ කරන්න ගොඩාක් අයට බෑ. මම කියනවා සමිතාට තියෙන්නේ හැඟීම්බරම හඬයි කියලා. එය කාටවත්ම නෑ. ඇය හිත හොඳ යෙහෙළියක්. මුල ඉඳන්ම අපේ අම්මත් මමත් සමිතාට හරිම කැමැතියි.

* නිරෝෂා අක්කේ ඔබ තවම තරුණයි . . . ලස්සනයි. පුළුවන්නේ නැවත විවාහයක් කරගන්න?

මම ළඟ තියෙන්නෙ මගේ උත්සාහයෙන් හරි හම්බ කරපුවා. මම පිරිමියෙකුගෙන් දෙයක් අරගෙන යැපිලා නෑ. දෙවියන් මට හොද හඬක් දුන්නා. මට පුළුවන් මැරෙනකම් සිංදු කියලා ජීවත්වෙන්න. අනාගතය ගැන මම දන්නේ නැහැ මල්ලී. මේ නිරෝෂා විරාජිනීගේ හදවත තේරුම් ගන්න පුළුවන් කෙනෙක් මුණ ගැහුණොත්. . . බලමු නේද . . .

‘සීතා මං ආවා’ චිත්‍රපට මාෆියාවට අහු වුණාද? මගේ ’සීතා’ චිත්‍රපටය මාෆියාවට අහු වුණා.

- අපොන්සු


මෙහෙම කියන්නේ සීතා මං ආවා චිත්‍රපටයේ අධ්‍යක්ෂක ජයසේකර අපොන්සු. ආන්දෝලනාත්මක සිදුවීම් කිහිපයක් සමඟ ඇරැඹි සීතා මං ආවා චිත්‍රපටය ඉතා සාර්ථක ප්‍රේක්ෂක සහභාගිත්වයක් සහිතව තිරගත වන අවස්ථාවක චිත්‍රපට ශාලා හිමියන් බලෙන් චිත්‍රපටය ගලවා ඉවත් කළ බව ඔහු වැඩිදුරටත් පවසනවා. 

තමන්ගේ චිත්‍රපටය අසාධාරණ ක්‍රියාවලියකට ලක්කළ පිරිස ගැනත් අපොන්සු කතා කරන්නේ කනගාටුවෙන්. මෙන්න ඒ කතාව.

‘සිතා ආවා චිත්‍රපටය ආරම්භයේ ඉඳළම මට කෙනෙහිලිකං. මේ චිත්‍රපටය නිෂ්පාදනය කළේ චමින්ද රණසිංහ. චිත්‍රපටය හදන්න තීරණය කළාම සිනමා ලෝකේ ප්‍රබල නිෂ්පාදකවරයෙක් ඔහුගෙන් අහල තිබුණා අපොන්සු තෝර ගත්තේ වෙන කවුරුවත් නැතුව ද කියලා. 

ඒත් චමින්ද මාව විශ්වාස කළා. අපි ඉතාමත් එකමුතුකමින් මේ චිත්‍රපටය හදලා ඉවර කළා.

ඊට පස්සේ චිත්‍රපටයට දිනයක් ලබා ගන්න අපි බලං හිටියා. සංස්ථාවෙන් කිව්වා ටිකක් ඉවසල ඉන්න හොඳ මණ්ඩලයක් දෙන්නං කියලා. ඒත් නිෂ්පාදකතුමා තීරණය කළා මේ චිත්‍රපටය ඉතාම ඉක්මනින් . . . . මණ්ඩලයේ සිනමා ශාලා වෙත නිදහස් කරන්න.

ඔන්න ඉතිං පළමුවෙනි දවසෙම කචල්. රාවණා බලකාය කොහොම හරි අපට හොඳ පබ්ලිසිටි එකක් හදල දුන්නා. මං හිතුවා ඒ පබ්ලිසිටිය එක්ක කට කපල සෙනඟ පිරෙයි කියලා. ඒත් ඒ වෙච්ච සිද්ධියෙන් බොහෝ දෙනෙක් හිතුවේ චිත්‍රපටය පෙන්වන්නේ නෑ කියලා. චිත්‍රපටය තිරගත වුණා.

අනෙක් මණ්ඩල දෙකේ තිරගත වුණේ සිරි පැරකුම් සහ රන්කෙවිට. ක්‍රමයෙන් සෙනඟ වැඩිවෙමින් සීතා මං ආවා සාර්ථකව තිරගත වෙමින් තිබුණා. ඒත් මේකට සෙනඟ කඩාගෙන ආවේ නැහැ.

එක දවසක් ගයාන් මාපලගම කියලා මගේ මිත්‍රයෙක් දුරකථනයෙන් කතා කළා. බොරැල්ල රිට්ස් සිනමා ශාලාවේ චිත්‍රපටය තිරගත වෙන්නේ දර්ශන වාර දෙකයි කියලා ඔහු කිව්වා. චිත්‍රපටය බලන්න විසිපස් දෙනෙක් විතර ඉන්නව කියලත් ඔහු කිව්වා. මට දැනුණේ වාවගන්න බැරි දුකක්.

මේ අතර කාලයේදී රිට්ස් සිනමා ශාලවේ කළමනාකරු මට කිව්වා චිත්‍රපටය ගලවන්න වේවි කියලා. එ අවස්ථාවේ අපේ නිෂ්පාදකතුමා ලයිට් වතුර බිල් ගෙවන්න ශාලාවට ලක්ෂ තුනක් ලබා දුන්නා.

මගේ චිත්‍රපටය සුනිල්ලගෙ, සෝමරත්නලගෙ මාෆියාවට අහු වුණා. මහරගම අනූෂා හෝල් එකේ දුවපු සිරි පැරකුම් මගේ චිත්‍රපටය ගලවල නැෂනල් එකටත් ආවා. සුනිල් ටී රිට්ස් එකේ මගේ චිත්‍රපටය දර්ශන වාර දෙකකට සීමා කරලා හින්දි චිත්‍රපටයක් දැම්මා. ඊට පස්සේ එතනටත් සිරි පැරකුම් ආවා.

මේක චිත්‍රපට මාෆියාවක්. මේ මාෆියාව මගේ සුන්දර සිහිනය බොඳ කළා. මං ඉන්නේ හරිම කනගාටුවෙන්. සෝමෙලට, සුනිල්ලට වටිනවා සුන්දර කලාකරුවන්ට සාධාරණයක් ඉටු කරන්න.

ඔබ චිත්‍රපට සංස්ථාවට මේ ගැන ලිඛිතව දැනුම් දීලා තියෙනවාද?

නැහැ.

ඇයි ඒ?

වාචිකව කරුණු ඉදිරිපත් කළා.

මොකද වුණේ?

සභාපතිතුමා කිව්වා එයාලගේ හෝල්වල දිගටම චිත්‍රපටය පෙන්නන්න ද කියලා. ඒත් සභාපතිතුමාගේ අණ නොතකා ඊට පහුවෙනිදා ඒ අයගේ හෝල්වලිනුත් සීතා මං ආවා ගැලවුණා.

ඔබ කියනවා මේක මාෆියාවක් කියලා. විසඳුම මොකක්ද?

එක්කෝ චිත්‍රපට සංස්ථාවක් තියෙන්න ඕනේ. නැතිනං නැත්තටම නැති වෙලා යන්න ඕනෑ. ඒ වගේම මේ දේවල් හසුරුවන්න කොන්ද තියෙන පිරිසක් එන්න ඕනේ.

උද්ඝෝෂණයකට සූදානම් වුණා නේද?

ඔව්. මාත් එක්ක චිත්‍රපට සංස්ථාව වටලන්න 300 ක් විතර එකතු වෙලා හිටියා. එත් ඒ උද්ඝෝෂණයට නිෂ්පාදකතුමා කැමැති වුණේ නැහැ.

ඔබ කියන්නේ සීතා මං ආවා චිත්‍රපටය හොඳ ප්‍රේක්ෂක සහභාගිත්වයකින් තිරගත වෙද්දී ගලවල දැම්ම කියලා?

ඔව්. දර්ශන වාරයකට සරිලන පිරිසක් හිටියා. ඒත් කට කපල සෙනඟ හිටියේ නැහැ. තව ටික දවසක් තියා ගත්තනං මේක අනිවාර්යයෙන්ම දුවනවා. මේ මාෆියා කරුවන්ට ඉවසන්න බැරිවීම දුකක්.

ඔබ සෝමරත්න දිසානායකටත් චෝදනා කරනවා?

ඔව්, එයාට තිබුණේ එච්චර දුවන චිත්‍රපටය ටික දවසක් යනකංවත් නොදී ඉන්න. එයාලා සහෘද කලාකරුවෝ ගැන හිතන අය නෙවෙයිනේ.

ඔබ ඉන්නේ කලකිරීමකින්?

නෑ. මං ලබන සතියේ තරු සොබා කියලා චිත්‍රපටයක වැඩ අරඹනවා. ඒකෙ නිෂ්පාදකයා මං. අර විදියට ඒක ගලවන්න මම ඉඩ දෙන්නේ නැහැ. අපි කලාව කළේ ගෙවල් දොරවල් විකුණගෙන. අන්තිමට අපට ලැබෙන තෑගි තමයි මේ.

--------------------- දෙතුන් දෙනෙකුට චිත්‍රපට පෙන්නලා පාඩු ලබන්න මට බැහැ
- සුනිල්

අපි ඊළඟට මේ චෝදනාව රැගෙන සුනිල් ටී. ප්‍රනාන්දු හමුවුණා.

ඔබ චිත්‍රපට මාෆියාකරුවෙක් කියලා අපොන්සු චෝදනා කරනවා?

මං මේ ප්‍රශ්නයට සෘජු පිළිතුරක් ලබා දෙන්නම්. චිත්‍රපට කරමාන්තය කියන්නේ ව්‍යාපාරයක්. දෛනිකව සිනමා ශාලාවක් පවත්වාගෙන යාමට විශාල පිරිවැයක් දරන්නට සිදුවෙනවා.

සාමාන්‍ය නිවෙසක විදුලි බිල වගේ මුදලක් වැය වෙනවා නම් එය දරන්නට මට පුළුවන්. බොරැල්ල වගේ කේන්ද්‍රීය නගරයක සිනමා ශාලාවක් පවත්වාගෙන යාමට ඉතා විශාල මුදලක් වැය වෙනවා. ඉතිං ඒ මුදල සොයා ගන්න ප්‍රේක්කෂකයන් පැමිණීම අනිවාර්යයයි.

ඒත් සීතා මං ආවා චිත්‍රපටයේ දර්ශන වාර බොහොමයකට හිටියේ ඉතා අඩු ප්‍රෙක්ෂක පිරිසක්. උදාහරණයක් විදියට දැන් මේ මොහොතේ (2013. 10. 11 පෙ. ව. 11.50) ඉන්නේ චිත්‍රපටය බලන්න දෙන්නයි.

මං දෙන්නෙකුට ඒ කියන්නේ රුපියල් 600 කට මේ චිත්‍රපටය තිරගත කරනවා. ඒකෙන් මට ලැබෙන්නේ 300 යි. ඉතිං මං අතින් පාඩු විඳලා චිත්‍රපටය පෙන්නන්නද?

ඉස්සෙල්ලම තමන් හොඳ චිත්‍රපටයක් හදන්න ඕනේ. එතකොට සෙනග ඒවි. කොයි චිත්‍රපටය දිව්වත් මට කමක් නැහැ. හැබැයි ශාලාව පවත්වාගෙන යන්න මුදල් ලැබිය යුතුයි.

සිරි පැරකුම් හොඳට මිනිස්සු බලන නිසා තමයි මමත් ඒ චිත්‍රපටය දාන්න තීරණය කළේ. දැනටත් සීතා මං ආවා ෂෝ දෙකක් දුවනවා. ඒකේ පාඩුව කැපෙන්නේ සිරි පැරකුම් කලෙක්ෂන් එකෙන්. මේක මාෆියාවත් නොවෙයි. සාමාන්‍ය ක්‍රමවේදය. සෙනඟ එන්නැති චිත්‍රපට දාගෙන ඉඳළා මොනව කරන්නද?

මේ මට අදාළම නැති ප්‍රශ්නයක්
- සෝමරත්න
ඊළඟට අපි අදහස් විමසුවේ සෝමරත්න දිසානායක හා රේණුකා බාලසූරියගෙන්.

ඇත්තටම මේ චෝදනාව සම්බන්ධව දෙන්නට උත්තරයක් අපට නැහැ. මොකද මේ කටයුත්ත සඳහා කටයුතු කරන්නේ සිනමා ශාලා හිමියන් සහ ප්‍රදර්ශන මණ්ඩලය. අපි කාටවත් චිත්‍රපට ගලවන්න, පෙන්නන්න බලපෑම් කරලා නැහැ. අපේ චිත්‍රපට තිරගත වෙන්න තිබූ ශාලා නිකිණි වැස්සට ලබා දුන්නා. ඒ වගේම සමනල සංධ්වනියට ලබා දුන්නා.

දුවන්නේ නැති චිත්‍රපට සිනමා ශාලාවල තියාගෙන වැඩක් නැහැ. මේක ව්‍යාපාරයක්. ඒ ව්‍යාපාරයේ චිත්‍රපට පෙන්නන්න ගලවන්න ඕන දින අපට තීරණය කරන්න බැහැ.

කෙටියෙන්ම කිව්වොත් මේ ප්‍රශ්නය අපට අදාළ නැහැ. අපි දන්නෙත් නැහැ. මෙහෙම හිතමුකො, දැන් සීතා මං ආවා ගලවල ඉංග්‍රීසි ට්ත්‍රපටයක් දැම්ම කියමුකො. එතකොට ඒකෙ අධ්‍යක්ෂවරයා හෝ නිෂ්පාදකවරයාට චෝදනා කරලා වැඩක් තියෙනවද?

මෙ චෝදනාව අපි තරයේ ප්‍රතික්ෂේප කරනවා. හදපු චිත්‍රපටය හොඳයි නම් කවුරු මොනව කිව්වත් මිනිස්සු බලනවා.


- චතුර

Thursday, October 10, 2013

මං ගමේ කොල්ලෙක්

A/L ඉවරයි අජන්තගේ ජීවිත කතාන්දරය

මධුර ප්‍රභාෂ්වරව බොහෝ දෙනෙක් හඳුනා ගත්තේ ජාතික රූපවාහිනිය ඔස්සේ රාත්‍රී 7.27 ට විකාශය වුණු A/L ඉවරයි ටෙලි නාට්‍යයේ අජන්තගේ චරිතයෙන්. 

එක වෙලාවකට බොහොම දාර්ශනිකයෙක් වගේ කතාබහ කරන මේ කොල්ලා තවත් වෙලාවකට කතා කරන්නේ මෝඩ පහේ චරිතයකට ආරෝපණය වෙමින්. 

සාමාන්‍ය ජීවිතයේදීත් මධුර, අජන්ත වගේ ද කියන තරමටම රූපවාහිනිය නරඹන්නන්ට ප්‍රශ්නයක් ඇති වුණා. අප මේ ගැන මධුරගෙන් ඇසුවා.

* අජන්ත වගේම ද මධුරත්?

‘අජන්තගේ චරිතයේ මධුරත් ඉන්නවා. නමුත් ඒ සියයට සියයක්ම නොවෙයි. 

සියයට තිහ, හතළිහක, පනහක ප්‍රමාණයේ මධුරත් ඒ චරිතයේ ඉන්නවා. මේ වගේ චරිතවලදී අපි බාගයක් විතර ඒ චරිතයේ ඉන්න එක අපට සියයට සියයක් ඉවත් කරන්න බැහැ.

 * මධුර කොහොමද අජන්තව දැක්කේ?

අජන්ත කියන්නේ ගමකින් කොළඹට එන කෙනෙක්. ඔහු ගමෙන් නගරයට එනකොටත් මාක්ස් ලෙනින් කියවපු මතවාදී තරුණයෙක්. 

ඔහු විවිධ මතවාදී කණ්ඩායම්වල වචන පාවිචචි කරන, සමාජවාදය ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොකරන, නමුත් න්‍යායාත්මකව කියැවීමෙන් ලැබුව දැනුම කතා කරන කොට නිතරම පාවිච්චි කරන කෙනෙක්. ඔහු හිතන්නේ ජීවිතය ගෙවන්න ඕනෑ ඒ විදියට කියලයි.

 ඒත් ඔහුටම සමහර විට තේරෙනවා එහෙම ජීවත්වෙන්න බෑ කියලත්. අජන්ත කියන්නේ ඒ දෙපැත්තටම දෝලනය වන චරිතයක්. ඔහු වරෙක බුද්ධිමත්. වරෙක බොහොම මෝඩයි. තවත් වරෙක බොහොම සීරියස් චරිතයක්.

* අජන්තව ප්‍රතිනිර්මාණය කර ගැනීමේදී අවට පරිසරය ඔබට කොයි තරම් උපකාරී වුණාද?

මමත් ගමේ ඉඳගෙන කොළඹට එන කොල්ලෙක්. ඕලෙවල් කරන්නේ නිකවැරටියේ කුදරවාලිය කියන කණිෂ්ඨ විද්‍යාලයේ. ඒ ලෙවල් කරන්න මම කුරුණෑගල මලියදේව ආදර්ශ විද්‍යාලයට පැමිණෙනවා. 

ඒ ලෙවල් ලියලා 2007 දී කැම්පස් එනකම් මම නාට්‍ය වැඩ කටයුතුවලට සහාය වෙන්න කොළඹ එනවා. 

කැලණිය විශ්ව විද්‍යාලයේ හිටිය මගේ යාළුවන් කිහිප දෙනෙක් නිසා වගේම මගේ තිබුණු කැමැත්ත වේදිකාව පැත්තට යොමුවීමේ පසුබිම නිර්මාණය කරනවා.

මුලින්ම මට මතකයි මම වේදිකා පරිපාලකයකු විදියට ‘යෙර්මා’ කියන විශ්ව විද්‍යාලයෙන් කළ වේදිකා නාට්‍යයට සම්බන්ධ වෙන විදිය. ඒ තරුණ සේවා එකෙන් කරන යෞවන නාට්‍ය උළෙල සඳහා. 

ඊට ප්සේ 2007 දී මම කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයට ඇතුල් වෙනවා. එතැන් පටන් තමයි දිගටම අධ්‍යයන කටයුතුත් සමඟ රංගන කටයුතුවල නිරත වෙන්නේ. 

මේ අතරේ ගමෙන් කොළඹට ඇවිත් නාට්‍ය කරන කොණ්ඩෙ රැවුල වවාගත්ත කොල්ලො, කෙල්ලන්ගේ ඇසුර ලැබෙන නිසා ඒ ජීවිතයේ අපට අමුත්තක් දැනෙන්නේ නෑ. 

අපිත් ඒ ජීවිතයේ කොටස්කාරයෝ වෙන්නේ නිතැතින්මයි. මේගොල්ලෝ කතා කරන, හැසිරෙන විදිය, කොහොමද බෝඩිමක් ඇතුළේ ඉන්නේ වගේ දේවල් අපේ ඇස ගැටෙනවා. ඒවා තමයි මේ විදියට අජන්තගේ චරිතයෙන් ප්‍රතිනිර්මාණය වෙන්නේ.

* අජන්තට ලැබෙන ප්‍රතිචාර තවමත් එහෙමම වගෙයි.

අජන්තගේ චරිතය කොයිතරම් මිනිස්සුන්ගේ හිත්වලට කා වැදිලද කිව්වොත් නාට්‍යය අවසාන වෙලා සතියක් ගත වෙලා තිබුණත් තවමත් ඔවුන් මට අමතන්නේ අජන්ත කියලා. 

ඒ තරමටම මේ නාට්‍ය මිනිස්සු ප්‍රමාණයක් බලා තිබෙනවා නේද කියලා හිතෙන්නේ ලැබෙන මේ ප්‍රතිචාර නිසයි. කොළඹ නගරයෙන් ඈත්වෙලා ගමකට ගියාට පස්සෙත් ඒ ප්‍රතිචාර එහෙමමයි. රූපවාහිනිය නරඹන නරඹන්නන්ටත් පොඩි කුහුලක් තිබෙනවා. 

ඒ ඇත්ත ජීවිතයේදීත් අපි මෙහෙමම ද කිය කාරණය ගැනයි. මොකද අපි ඇත්තටම මුහුණවල් හෝදන්නේ නැතිව ඇත්තටම බෝඩිම් ඇතුළේ මෙහෙම ඉන්නවා කියන කාරණා ඔවුන් සත්‍ය ලෙසටම අරගෙන තිබෙන බව පෙනෙනවා. මායාවත් ඇත්තත් අතර ඔවුන් අතරමං වෙලා.

* ඒ වුණාට නරඹන්නන් සිතන ඒ කාරණාවල සත්‍ය තත්ත්වයක් නැතිවාම නෙමෙයි නේද?

නෑ. (සිනාසෙයි) සමහර දේ නම් ඇත්තයි.

* රංගනයට අමතරව ඔබ වෘත්තියෙන් නීතිඥයෙක්?

මම කොළඹ මහ අධිකරණයේ නීතිඥයකු විදියට වැඩ කරනවා. ඒ නීතිඥ වසන්ත රිටිගල මහතාත් සමඟයි. මම තවම තනිවම වැඩ කරන්නේ නෑ. ජ්‍යෙෂ්ඨ නීතිඥ මහත්තයෙක් සමඟයි කටයුතු කරන්නේ.

* මේ වෘත්තින් දෙක සමබර කර ගන්නේ කොහොද?

ඒක බොහොම අමාරු කාර්යයක්. ෂූටින් තිබුණොත් උසාවි යන්න බැහැ. ඒ ගැටලු තිබෙනවා. මගේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා මගේ කලා කටයුතුවලට අවසරය ලබාදීලයි තිබෙන්නේ.

* කලාව හා නීතිය කියන්නේ පරස්පර වෘත්තීන් දෙකක්. ඔබට මේ ගැන මොකද හිතෙන්නේ?

වෘත්ති දෙකක් වුණාට මට හිතෙන්නේ හොඳ නීතිඥවරයකුට හොඳ රංගන ශිල්පියෙක් වගේම හොඳ රංගන ශිල්පියෙකු හොඳ නීතිඥවරයෙකුත් විය හැකි බවයි.

* ඔබට සාධාරණ නීතිඥයෙක් විය හැකියි ඔබ සිතනවාද?

වෘත්තීය ආචාර ධර්ම තිබෙන නිසා මම ඒ ගැන කතා කරන්න කැමැති නෑ. නීතිඥවරු කියන්නේ තමන්ගේ සේවාදායකයෙක් වෙනුවෙන් පෙනී සිටින කෙනෙක්. වෘත්තීය නීතිඥයෙක් විදියට මමත් කරන්නේ ඒකමයි.

ඒ කියන්නේ තමන්ගේ සේවාදායකයන්ට උපරිමේ යහපත ඉටු කිරීමයි. නමුත් මම වඩාත් කැමැති කලා මාධ්‍යය ඇතුළේ ජීවත් වීමටයි. ඒක අපට දැනෙනවා. මිනිස්සුත් සමඟ ගත කරන තත්පරය වුණත් අපට ජීවත් වනවා කියන හැඟීම දැනෙනවා.

* මෙහෙම ගියොත් ඔබ නීතිඥ වෘත්තියෙන් සමුගනීවිද?

ඒක කියන්න බෑ. සමහර විට සදහටම නීතිඥ වෘත්තියෙන් සමු ගන්නත් පුළුවන්. සමහර විට කලාවෙන් සදහටම සමුගන්නත් පුළුවන්. එහෙම නැතිව මේ වෘත්ති දෙක නැතිව වෙනම එකක් කරන්නත් බැරි නෑ. මම වඩාත් කලා මාධ්‍යයට කැමැති නිසා මගේ උපරිමයෙන් ඊට දායක වෙනවා. හොඳ නිර්මාණයක් ලැබුණොත් කොහොම හරි ඒකට දායක වෙන්නයි මා සිතන්නේ.

* ඔබගේ කලා ජීවිතයේදී අමතක නොවන සිදුවීම් එහෙම ඇති නේද?

මම මුලින්ම රඟපාන්නේ ඩෙනිස් පෙරේරාගේ ‘ත්‍රීවිල් ඩයරිස්’ කියන චිත්‍රපටයේ. ඒකේ කළ රංගනය මට කිසිම දවසක අමතක වෙන්නේ නෑ. මධුර කියන මගේ නමින්ම ගමක සිටින තරුණයෙක්ගේ චරිතයක් තමයි මම රඟපෑවේ. ඒ් වගේම ඒ ලෙවල් ඉවරයි ටෙලි නාට්‍යයේ එක දර්ශනයක් තිබෙනවා බිත්තරවලින් ගුටිකන. ඒක නම් මට කිසි දිනක අමතක වෙන්නේ නෑ. බිත්තරවලින් ගුටි කෑව විතරක් නෙමෙයි බිත්තර සාරු මුළු ඇෙඟ්ම ගෑවිලා ටික වෙලාවක් රූගත කිරීමට එහෙමම ඉන්න වුණා. ඒ ගඳ නම් තාමත් මේ මට දැනෙනවා වගෙයි.

* ඔබ පෙම්වතෙක්ද?

ඔව්. මම පෙම්වතෙක්. ඒ ගැන ඒ තරමට කිව්වාම ඇති කියලා මම හිතනවා.

* පවුලේ තොරතුරුත් යමක් කියමුද?

මට ඉන්නේ අම්මයි, අප්පච්චියි, අයියයි, නංගියි. අම්මා ගුරුවරියක්. අප්පච්චි ලංගම බස් රථ පරික්ෂකවරයෙක් විදියට වැඩ කරනවා. බොරළුවැව, පහළ මාවුල්ල කියන ගමේ තමයි ඔවුන් තවමත් ඉන්නේ.


උතුම්ම සම්මානය යළිත්

1986 දී දිනාගත් අමෙරිකානු රූ රැජන කිරුළටත් වඩා 2001 වසරේදී ස්වෝර්ඩ්ෆිෂ් රංගනයට හොඳම නිළිය ලෙස දිනූ ඔස්කාර් සම්මානයටත් වඩා වටිනා සම්මානයක් හතළිස් හත් හැවිරිදි හෙලී බෙරීට පසුගියදා ලැබිණි. ඒ පුත්‍ර රත්නයකි.

බෙරීගේ වැඩිමල් දූ කුමරිය දැන් පස් හැවිරිදිය. දියණියගේ පියාත් පුතුගේත් පියා එක් අයකු නොවෙයි. මුලින්ම ඇය පෙම් බැන්දේ චිකාගෝවේ දන්ත වෛද්‍ය ජෝන් රොනන්ටය.

ඊළඟට ඇය බේස්බෝල් ක්‍රිඩකයකු වූ ඩේවිඩ් ජස්ටිස් සමඟ විවාහ විය. බෙරීගේ දෙවැනි සැමියා වූයේ එරික් බෙනට්ය. තෙවැනි වරට ඇයගේ හද දිනා ගත්තේ මෝස්තර නිරූපණ ශිල්පී ගේබ්‍රියල් ඕබ්‍්‍රය. දියණිය ඔහුගේය.

ඉන්පසු ප්‍රංශ කැනේඩියානු මෝස්තර නිරූපණ ශිල්පී ඔලීවියර් මාර්ටිනස්ට බෙරී සිය පෙම පිදුවාය. 2013 දී දෙදෙනා විවාහ වූ අතර පුංචි පුතු ඒ ආදරයේ ප්‍රතිඵලයයි. 

බෙරී සහ මාර්ටිනස් මිතුරු වූයේ දකුණු අප්‍රිකාවේ දී ‘ඩාර්ක් ටයිඩ්’ රූගත කරන අතරතුරේදීයි.

බූමරැන්ග්, ද ෆින්ට්ස්ටෝන්ස්, ක්ලවුඩ් ඇට්ලස්, කැට්වුමන් වැනි ඇය රැගූ සිනමාපට අතිශයින්ම සාර්ථක විය.

බොරුව නෙමේ ඇත්තමයි

ප්‍රසංග වේදිකාවේදී බොරුවට තොල් සොලවන බවට චෝදනා ලබන තාරකාවන් අතර බ්‍රිට්නි ස්පියර්ස් ද සිටින්නීය. එහෙත් ඇය අවධාරණයෙන්ම කියා සිටින්නේ තමා සජීවී ලෙස ගී ගයන බවයි. 

මේ බව ඇය ප්‍රකාශකර තිබුණේ ගුවන් විදුලි සම්මුඛ පරීක්ෂණයකදීයි. පසුගිය තිස්වැනිදාට බ්‍රිට්නිගේ මංගල ඇල්බමය ‘බේබි වන් මෝ ටයිම්’ නිකුත් වී පහළොස් වසරක් ගත විය.

‘බේබි වන් මෝ ටයිම්’ ගීත ඇල්බමයේ ‘බේබි’ යන වචනය විසිපස් වරක් සඳහන් වී තිබේ.

දැන් බ්‍රිට්නි තිස් එක් හැවිරිදිය.

වඩා ලස්සන හදවත්

තරුවක් ලෙස වැජඹෙද්දී දෑතට ලැබෙන කාසිවල ද දිලිසීම වැඩිවෙයි. ඒ කාසි තමන්ගේ බැබලීමට නොව අන් අයගේ බැබලීමට යොදවන්නේ රුව, රංගනය වගේම හදවතත් යහපත් නම්ය.

නිකොල් කිඩ්මන්, ජෙනිෆර් හඩ්සන්, කෙරී වොෂිංටන්, ෂාර්ලිස් තෙරෝන්, ඇමී පෝහීයර් මේ ළෙන්ගතු හදවත් ඇති තාරකාවන් අතර පෙරමුණේම සිටිති.

කිඩ්මන් කාන්තාව බලගැන්වීමෙන් ද, හඩ්සන් අඩු ආදායම්ලාභීන්ට අධ්‍යාපනය ලබාදීමට වෙහෙසීම වෙනුවෙන් ද, තෙරෝන් එච් අයි වී / ඒඩ්ස් පිළිබඳ දැනුවත් කිරීම හා පර්යේෂණවලට උපකාරවීම සම්බන්ධයෙන් ලෝක ප්‍රකටය. 

මේ නිසාම ඔවුහු ළඟදී සම්මානයට පාත්‍ර වූහ. සිනමා සම්මානයකට වඩා ලෝකයට ආදරය කිරිම වෙනුවෙන් ලැබුණු ඒ සම්මානය ඔවුන්ගේ හදවත්වලට වඩාත් සමීප වනු ඇත.

හොඳට අඳින්නී

පීපල්ස් සඟරාව මඟින් ලොව වඩාත්ම අලංකාර ලෙසට අඳින පළඳීන තාරකාව ලෙස නම් කර ඇත්තේ නිළි කෙරී වොෂිංටන්ය.

සුව පහසු ලෙසත්, තැනට ගැළපෙන ලෙසත් ඇඳීම පැළඳීම මෙවන් තෝරා ගැනීමට හේතු වන්නට ඇති බව ඇය පවසන්නීය. 

තිස්හය හැවිරිදි කෙරී, රේ, ද ලාස්ට් කිං ඔෆ් ස්්කොට්ලන්ඩ්, අවර් සෝන්ග්, ද ඩෙඩ් ගර්ල්, මිස්ටර් ඇන්ඩ් මිසිස් ස්මිත්, ලිට්ල් මෑන් වැනි සිනමා රංගනයන්ගෙන් රසික හද දිනා ගත්තියකි.

හැම තාත්තෙක්ගෙම සිතුවිලි

ඔස්කාර් සම්මානලාභී නළු සෝන් පෙන්ට, එකම දියණිය, ඩිලාන් පෙන් නිසා මේ දිනවල සුව නින්දක්වත් ලබන්නට වරම් නැත. ඒ ඇය රොබට් පැටින්සන් සමඟ පවත්වන හාදකම නිසයි.

ඩිලාන් මෝස්තර නිරූපණ ශිල්පිනියකි. සෝන් පෙන් ළඟදී රොබට් පැටින්සන් හමු වූයේ එනිසාමය.

රොබ් සහ ඩිලාන් ඉතා ආදරයෙන් කල්ගත කරති. සාර්ථක නළුවකු සහ සොඳුරු තරුණියක අතර පවතින මිත්‍රත්වයට සතුරුකම් කරන්නේ කවුරුන් ද? එහෙත් සෝන් එක් දෙයක් අවධාරණයෙන් කියා සිිටියි. ඒ ‘දුවට දුකක් දෙන්න එපා!’ යන අවවාදයයි.

යශෝධාගේ පබ්ලිසිටි කැම්පේන් එක

යශෝධා විමලධර්ම වේදිකාව, පුංචි තිරය සේම රිදී තිරයක් එක ලෙස ජයගත් දක්ෂ රංගන ශිල්පිනියක්. 

මේ දිනවල ජයන්ත චන්ද්‍රසිරිගේ සමනල සංධ්වනිය චිත්‍රපටයේ අපූරු චරිතයකින් යශෝධා ඔබ හමුවට එනවා.

ඒ වගේම යශෝධා ඇයට මුණ ගැසෙන හැමෝටම මේ සිනමා සිත්තම නරඹන ලෙස ආරාධනා කරනවාලු.

හැම වෙලේම චිත්‍රපටයේ ප්‍රමෝෂන් කටයුතු කරනවා කියලා සමහරු ඇයට විහිළුත් කරනවා කියලා ආරංචියි.

කොහොම වුණත් චිත්‍රපටයකට දායකත්වය ලබා දුන්නාට පස්සේ ඒවායේ ප්‍රචාරණ කටයුතුවලදී නිෂ්පාදකවරුන්ට නවකයන්ගෙන් ඉල්ලීම් කරන්න සිදුවෙන කාලයක යශෝධාගේ මේ ක්‍රියාව අගය කළ යුතුයි.

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More